Friday, January 5, 2018

ටොරිංටන් කොලම

           ටොරින්ටන්, කෙහෙරැල්ල සහ මම



ඩෙනිම් සාක්කුවට අත් දෙක ඔබා ගත්තම එන ගැම්මට ටොරිංටන් වෝකින් පාත් එක දිගේ ජොගින් කරන වයරින් නෝනල මහත්තුරු එක්ක හරි හරියට රබර් සෙරෙප්පු දෙක දුවනව. පුදුම සැහැල්ලුවක් ලබපු තැනක් ජීවිතේ. හැන්දාවරුවක් . උදෑසනක්. දවල් වරුවක්. ඒක වෙනම ලෝකයක කලාපයක්. නිදහස් චතුරස්‍ර්‍රේ උඩට නැග්ගම එක කෙලින් පෙනෙන තනි වෝකින් පාත් එක ඈතට දෙපැත්තට වෙලා එකත් පසව බලාගෙන ඉන්න කොළ පාට ගස් පේළිය හිතට ගෙනාවෙම සැහැල්ලුවක්. මං දවස් කීපයක ඉඳන්ම බැලුවෙ හුළඟ එන්නෙ කොයි පැත්තෙන්ද කියල. ගස් කොළන් මුදුන් අස්සෙන් පෙනෙන ජාතික පුස්තකාලෙ වහල පැත්තෙන් එක හෝසෙට එන හුළඟට ඇඟටම ඇලෙන සැහැල්ලු ඇඳුම් ඇඳන් එන ලස්සන බෝනික්කියො වගේ චීන තායිවාන් කෙල්ලො, හැම පැත්තටම කැමරා මානන කොට, ඒ කාලෙ කැමරාව ඉගෙන ගත්තත් කැමරාවක හිමිකමක් නොතිබුණු අපේ නෙතයි හිතයි දෙකම පැහැර ගත්ත. ඊට පස්සෙ හිතට එන්නෙම අම්මප චීනෙටම බින්න බහිනව කියල. කොහොමත් සමහරවිට එහෙම බින්න බහින්න හිතපු අයටයි නොහිතපු අයටයි හැමෝටම බින්න බහින්න චීනෙ ලංකාවටම එයිද දන්නෙ නෑ.

මේ අස්සෙ හඳුන්කූරු පැකට් රොත්තක්ම ගෙනැල්ල දුක කියල ඇඟේ ගහන්න හදන එකෙක්, තනියම වාඩිවෙලා බෑග් එකකුත් කරේ එල්ලගෙන ආකේඩ් අහස දිහා බලාගෙන හූල්ලන එකෙක්, එහෙම නැත්නම් නිදහසේ නිදහස් හුස්මක් අරන් ජීවිතේ අනාගතේ ගැන දශමයෙන් දශමය ප්ලෑන් කරන ගමන් හීන පුරවන කපල් එකක්, මේ හැම සිවිල් වැසියෙක්ම චෙක් කරන්න සිවිල් පිට බහින පොලිස් මහත්තුරු රොත්තක්, ඊටපස්සෙ ටිකකින් පොඩි කලබැගෑනියක්, නිදහස් චතුරස්‍රෙට එන්න විවාහ සහතිකෙත් එක්ක පොඩි එකෙක් අවශ්‍ය වෙන කාලයක්, හැමදේම හරිම සාමාන්‍යයි නේද කියල හිතෙනව ලංකාව ඇතුළෙ.
විනීතව හැසිරෙන්න. කුණු කසල නොදමන්න . ඒත් කෝ හරි කසළ කළමණාකරණයක් එහෙම කරන්න තරම් මිනිස්සුන්ටත් ආකල්පයක්. ඒත් කෝ ආදරෙන් තමන්ගෙ පෙම්වතියට හාද්දක් දෙන්න තැනක්. ඉතින් අපි තාම අපේ හැඟීම් යටපත් කරගෙන අර ආදි මානවයගෙ ජාගර ගතිය ඇවිස්සෙන්න හවසට බලන රෙස්ලින් එකක් බලල රත්වෙන්න අඩියක් ගහල ඉන්න හීනි ආතල් ගන්න ජාතියක් විතරයි.

ටොරිංටන් හුළඟ කියන්නෙ කොළඹ හතේ හුළඟ නම් ඒක හරි අහංකාර ධනේෂ්වර හුළඟක් වෙන්න ඕනෙ. ඔව් ඒක හරිම අහංකාර ධනේෂ්වර හුළඟක්. අපි වුණත් ප්‍රේම් ඇවිදගෙන ගියපු ගුවන්විදුලියයි රූපවාහිනියයි අස්සෙන් යන ප්‍රේම් මාවතෙන් ගිහින් බහින්නේ එහෙම නිදහස් හුස්මක් ගන්න ඒ ධනේෂ්වර හුළඟ වැදි වැදි.  ප්‍රාඩෝ ,BMW වයරින් කරපු ජිම් ඇඟවල් දිහා බල බල ටිකක් හූල්ල හූල්ල ඉන්න. ඒත් දවල් වරුවක කොළඹ කට්ට රස්නෙත් එක්ක ඒ රස්නෙන්ම බැට කන කපල් එකක් ඈත බංකුකවක නැත්නම් ඈත ගහක් පාමුල ටිකක් තුරුල් වෙලා ඉන්නව . දවසක් කඩි මුඩියෙ ජාතික පුස්තකාලෙ පැත්තට  පොත් එළිදැක්වීමකට දුවන අස්සේ ඈතින්  විසිල් පාරක් ඇහුණා. අම්මට සිරි මගෙත් එක්ක එකට ඉගෙන ගත්තු උන් අර ගස් වල තනි මකන හැටි දැක්කම දැනෙන පුංචිම පුංචි ඊරිසියා සතුට. සැලුට් එකක් දාල මං හෙමින් මාරු වෙලා යන්නෙ උන්ගේ නිදහස මේ නිදහසේ නාමයෙන් මේ නිදහසේ පියා ඉස්සරහම උන්ට ලැබෙන්න ඕනෙ නිසා. ඒක උන්ගෙ.

මං මේ ගැම්මෙන් දැන් මේ පාරවල් වල යන්නෙ නෑ. ඒ ගැම්ම දැන් නැති වෙලා ගිහින් . ඉස්සර මේවගෙ රස්තියාදු ගහපු රූපවාහිනී අභ්‍යාස ආයතෙනෙ කැන්ටිම ගාව ආපු ගියපු කාපු බීපු  අය අද එක්කො කන්ට්‍රෝල් රූම් වල හිරවෙලා. නැත්නම් ස්ටුඩියෝ එකක කැමරා පෙම්වතියන් තුරුල් කරගෙන. එහෙමත් වෙලාවක මට තවත් කල් තියෙන බව හිතාගෙන ඇයත් එක්කම මෙහේ එන්න ඕනෙම කියල හිතුණත් ඒ ගමන නැවතුණා . ඒ නිසා අද උනුත් නෑ මෙහේ ඇයත් නෑ මෙතැන. ආපි ගියපු කාපු බීපු අහපු දැකපු හැම මතකයක් ම එක්ක මං තාමත් චිත්‍රපට සංස්ථාවෙ තරංගනී එකට යන්නෙ හරිම බයෙන් මට බයයි අර ටොරිංටන් ගස් අස්සෙන් යන්න. කොන්ක්‍රීට් කොළඹ එක ක්ෂේම භූමියක් වෙච්චි ඒ ගස් මැද්දෙන් තනියම යද්දි මුහුණට මුණ ගැහෙන කොළඹ සරසවි මානවිකා මූණකට වැටිලා තියෙන කෙහෙ රැල්ල හෙමින් ඇගේම ඇඟිලි වලින්  ආයෙමත් හිසේ ලැගුම් ගන්න හැටි ටිකකට මං බලන්නෙ හරිම බයෙන් . එතකොටම දැනෙන එක්තරා අහිමි වීමක් සහ හිමි වීමක් අතර දෝලනය වන හැඟීම මේ කොළඹටම ඇරෙන්න වෙන කාටවත් කියන්න බෑ.

මට මතක් වෙන්නෙ ළඟඳි දවසක වසන්ත ප්‍රියංකර නිවුන්හැල්ල ආදරණීය කවිය මුහුණු පොතට එක් කර තිබූ කවිය. ඒකෙන් මගේ මේ කියාගන්න බැරි වුණ කතාව මං ඉවරකරන්නම්.

මල්
සමනලුන්
පවා
ලස්සන නෑ
ඔබ
මේ තරම්
ඈතින්
සිටින විට
මල්
සමනලුන්
පවා
ලස්සන
නැති විට
උයනක්
කුමටද?
මිනිසෙකුට
මා
උයන
හැරයන දවසට
අවසන් හුස්මට
මොහොතකට විතර
ඉස්සර
මතකයට ගමි
ඔබේ නම


- මලියා -

3 comments: