Tuesday, February 13, 2018

වැලන්ටයින් කොලම

ප්‍රේමයේ අවකාශය සපුරාලනු වස්




වැලන්ටයින් අදය.  වැලන්ටයින් පියතුමාගේ මළගම ,භෞතිකව මෙන්ම  වැලන්ටයිනියානු දර්ශනයේ මළගමද අදය. එසේත් නැත්නම් විකිණෙන  සන්නාමය ආදරවන්තයින්ගේ දිනය වැලන්ටයින් ඩේ එක අදය.

බුකිය පුරාමත් තැනින් තැන ඇහෙන දකින කියවීම් අතරත් වැලන්ටයින් දිනය ගැන විව්ධ අස්ථානයන් හමුවේ. එක් අන්තයක් වික්ටෝරියානු සදාචාරවාදී දැක්මක් වැලන්ටයින් දිනය දෙස හෙළමින් එය පිළිකුළ් සහගතව බැහැර කරයි. අනෙක් අන්තයෙන් ධනවාදී වෙළඳපොළ විකිණෙන වෙළඳකරණය වූ දිනයක් ලෙසද අද සැළකිය හැක. පැහැදිලිව මේ අස්ථාන දෙකෙන් එක් අන්තයක් නියෝජනය කරමින් බොහෝ දෙනා අදහස් දක්වන බව පෙනේ. මම පෞද්ගලිකව මෙවන් දිනයක් තිබීම ගැන ආදරවන්තයින්ට වෙන් වූ දිනයක් තිබීම ගැන කිසිදු විශේෂත්වයක් නොදක්වමි. එහෙත් මෙහි ඓතිහාසික ගොඩනැඟීම දෙස සහ පුහු සදාචාරවාදීන්ගේ දැක්මත් සීනිබෝල ආදර ( අනාදර) වෙළඳපොළත් තුළ  ප්‍රේමයට ඇති වටිනාකම කුමක්ද යන්නත් විමසා බලනු වටී.

2වන ක්ලෝඩියස් රෝම අධිරාජ්‍යයාට ස්වකීය බල ප්‍රදේශය ව්‍යාප්ත කරගනු වස් සිය යුධ බලඇණිය වැඩි කිරීමට අවශ්‍ය විය.ඒ සඳහා විවාහ තහනම් කළ අතර වැලන්ටයින් පියතුමා මෙලෙස විවාහ වීමට නොහැකිව සිටි තරුණ තරුණියන්ව රජුට රහසින් විවාහ කළේය. එහෙත් මේ බව දැනගත් පසු රජු වැලන්ටයින් පියතුමාව ඝාතනය කළ අතර එතුමා ඝාතනය වූ අද දවස වැලන්ටයින් දිනය නම් වන බව ඉතිහාසය සඳහන් කරයි. එතුමා ප්‍රේමය වෙනුවෙන් සිය ජීවිත පරිත්‍යාගය කළ දිනය, අද වන විට වෙළපොළ වැඩියෙන්ම වෙළඳකරණයට ලක් වූ දවසක් බවට පත්ව තිබෙයි. විවාහය , තමා ප්‍රේම කරණ තරුණිය හෝ තරුණයා සමඟ විවාහ වීම කුටුම්භගත වීමේ ශිෂ්ඨාචාරගත මනුෂ්‍යයාගේ අයිතිවාසිකමක් වන අතර එතුමාගේ වෑයම වූයේ එකී මනුෂ්‍ය අයිතිවාසිකම ලබාදීමය. එහෙත් ප්‍රේමය නමින් අද උත්කර්ෂවත් වන්නේ කුමක්දැයි අප යළි යළිත් සිතා බැලිය යුතුය. අද වෙන්ව තිබෙන්නේ ආදරවන්තයින්ට. එසේනම් ඒ ආදරවන්තයින් අතර තනි පුද්ගලයන් සිටිය හැක. යුගළ සිටිය හැක. ඒක පාර්ශවිකව ප්‍රේම කරන්නන් , තමාගෙ ප්‍රථම ප්‍රේමය හා තවම ආත්මගතව සිටින්නන් මේ කාට වුව වයස් භේදයකින් තොරව ප්‍රේමය පොදුය. එසේනම් ප්‍රේමය වෙනුවෙන් වූ අද දිනයද කාටත් පොදු විය යුත්තක් වුවද එය වෙළපොළකරණය තුළ අනුකණ්ඩායමක් ඉලක්ක කරගෙන සාර්ථකව අලෙවි කරෙයි. සියලු දිනයන් විකිණෙනා මොහොතක සදාචාරවාදීන් මහා ඉහළින් වෙසක්ද , නත්තලද අපූරුවට විකුණමින් ආදරවන්තයින් ගේ දිනයට ඇඟිල්ල දිගු කිරීමද තමාගෙ තුත්තිරි නොපෙනීම සම්බන්ධ කාරණාවකි.

මෙවන් මොහොතක සමාජ සංස්කෘතික හර පද්ධතීන් විසින් ප්‍රේමය ස්ථාන ගත කරන්නේ කොතැනද? "ප්‍රේමයේ අවසන් ඵලය විවාහය' නම් වූ බාහිර කවචයේ රිංගවා ප්‍රේමය නම් වූ කොන්දේසිය නොපුරවා අනෙක් සියලු කොන්දේසි සපුරා( හඳහන්, පොරොන්දම් , කුලය, ආගම ජාතිය, බලය, භාෂාව, වයස, රැකියාව, ලිංගිකත්වය ) කෙරෙන දෙදෙනකුගේ එක්වීම ( මෙය එක්වීමකටත් වඩා එක් කිරීමකි.  හමුවීම් කෙරෙන වෙබ් පිටුද, මංගල දැන්වීම් තීරුද, සාම්ප්‍රදායික වැඩිහිටි පිරිසද මේ අවකාශය සපුරාලයි) ප්‍රේමයට තව දුරටත් ඉඩ කඩ අහුරමින් සිටියි. ප්‍රේමය තවදුරටත් අර්බුදයක් වෙත තල්ලු කරමින් සිටියි. සියලු තහනම් නියෝග ගෙනෙමින්ද ප්‍රේමයට තව දුරටත් ඉඩක් නොතැබිය යුතු බවටත් අරුමෝසම් වෙළඳ භාණ්ඩ විවාහ මංගල ඇඳුම් ආයිත්තම් සැරසිලි සියල්ලක්ම දෙදෙනෙක් අතර ඇතිවන්නා වූ ඒ උත්තම මනුෂ්‍ය බැඳීම් කෙරෙහිත් වැටකඩුළු පනවන යුගයක ය අද ආදරවන්තයින්ට දිනයක් වෙන්වන්නේ. එදා වැලන්ටයින් ට සිටියේ ක්ලෝඩියස්ය. අද ක්ලෝඩියස්කරණය වී තිබෙන්නේ  මෙකී වෙළඳ ආර්ථික ක්‍රමය වන අතර ඊට එරෙහිව සටන් කිරීමට අපට වැලන්ටයින්ලා ඇවැසිය. ප්‍රේමයට ප්‍රේම කරන වැලන්ටයින්ලා ඇවැසිය. කොන්දේසි විරහිතව මනුෂ්‍ය බැඳීම් කෙරෙහි අතිශය සංවේදී වන්නා වූ මනුෂ්‍යයත්වක් මේ මොහොතේ අපි බලපොරොත්තු වන්නෙමු. ඇලන් බදියු නම් ප්‍රංශ දාර්ශනිකයා කීයන්නා සේ ' ප්‍රේමයේ සැබෑ විශය වන්නේ එක් එක් තැනැත්තාගේ හුදු තෘප්තිය නොව යුවළක් බවට පත්වීම යන්න යමෙක් පිළිගතහොත් ඒ අර්ථයෙන් ප්‍රේමය කොමියුනිස්ට්වාදී බවයි'. ( ප්‍රේමය පසස්නු වස්- පරිවර්තනය - කෞෂල්‍ කුමාරසිංහ , විදුර ප්‍රභාත් මුණසිංහ)

ප්‍රේමය කෙරෙහිත් ආදරවන්තයින්ගේ දිනය කෙරෙහිත් සදාචාරවාදීන් ගේ හා මේ වෙළඳ ආර්ථික ක්‍රමයේත් දැක්මෙන් වියුක්තව ප්‍රේමය දෙස ප්‍රේමයේ පාර්ශවයෙන් බලමින්ද විඳිමින්ද ප්‍රේමයේ ගිලිහෙන අවකාශය ප්‍රේමයෙන් සංතෘප්ත කරමින් ප්‍රේමයේ සාන්ද්‍රණය වැඩි කිරීමට වැලන්ටයින් දිනය ඇරඹුමක් කර ගත යුතුය. වෙන් වීමකට එරෙහි සාර්ථක අරගලය එතැනින් ආරම්භ විය යුතුය. ඒ නිසා මා දයාබර මිතුරනි. ප්‍රේම කරන්න තව තවත් ප්‍රේම කරන්න. දරාගත නොහැකි තරමටම කොන්දේසි විරහිතව ප්‍රේම කරන්න. එය මනුෂ්‍යත්වය යළි යළි ඉහළට ඔසවා තබන ආදරණීය ඇරඹුමක් වනු ඇත.


- මලියා -

Saturday, January 13, 2018

රට බීම කොලම

පිරිමි බීම ගෑනු බීම සහ සංස්කෘතිය රෙද්ද පල්ලෙන් බේරීම

ලියන්නට කියවන්නට හිතන්නට මෙලෝ මඟුලක්වත් ඉතිරිවී නැති වෙලාවකය. මිත්‍රවරුනි ගෑනුන්ටත් මත්පැන් ලබාගැනීමේ නිදහස පැමිණ තිබෙන්නේය. පිරිමින්ට දැන් තරු පෙනිලාය. පස්ස විපස්ස දේස පලුවන්ට ගෙදර මායියාව මතක් වෙමින් තිබෙන්නේය. ගෙදර යන්නට බියක් ගෙන දෙන්නේය. වෙනදා බාගයක් දාන එක දැන් කාලක් දක්වාවත් අඩුවිය යුතුය. තරමක් හෝ එළඹසිටි සිහිය පවත්වා ගත යුතුය. බිඳින ලද හට්ටි මුට්ටි වළං පිඟං තුවාල කැළැල් හැම එකකටම කාලෙ බෝතෙලේකින්ම හෝ ඔළුවට ඉදිමුම් තුවාල සහිත දින හතක අටක කසාය තහනම් කාල පරිච්ඡේදයක් ලැබෙනු ඇත. පිරිමින්ගේ බේබදුකම අඩුවෙන්නට නම් ගෑනුත් බොන්නම ඕනෑය . අති විශේෂ එව්වා සරම අස්සෙ ඔබාගෙන යන  ගෑනු ගතිය ගැන ලැජ්ජා වෙන්නට කාලෙ බෝතල් දෙකක් කිහිල්ලෙ ගහගෙන බාර් එකෙන් එළියට බහින්නට ඕනෑය. එතකොට බයිට් එක නැති වුණාම දාන පිරිමි රෙස්පට් එක බහිනු ඇත. ඊට අමතරව බයිට් එකද තම තමන්ට රිසි පරිදි තමන්ටම සාදා ගන්නට සිදු වනු ඇත. ඒ නිසා ඇත්තෙන්ම මේ පියවර හැම අතින්ම සාධනීය ය.

සමහර ඈයන්ට රෙද්ද පල්ලෙන් බේරෙන සංස්කෘතිය මතක් වෙන්නේද මේ අල්ල පනල්ලේය. මිත්‍රවරුනි ඒ අනුව සංස්කෘතිය රැක ගත යුත්තේ ගෑනුය. පිරිමි නොවේ. ඕනෑ නම් පිරිමියාට ගෑනියට පොවා ඕනෑ රෙද්දක් කළ හැකිය. රෙද්ද ගැලවිය හැකිය. දරුවන් පහක් හයක් රට ජාතිය සංස්කෘතිය වෙනුවෙන් නිෂ්පාදනය කළ හැකිය. මිත්‍රවරුනි ඒ අනුව අප සංස්කෘතිය රැක ගන්නට ඕනෑ ඒකටය. ළමයි හදන්නටය. අවාසනාවට පිරිමි බොන එක ළමයි හදන එකට කිසිම ආකරයක හානිදායක භාවයක් ඇති කරන්නේ නැත. ගෑනු, ළමයි හදන්නේ තනිවමය. එක පැත්තකින් ඒක ඇත්තය . ගැහැනු වැඩ ඇරී වැඩට යති'  යි ලක්ෂාන්ත අතුකෝරල සහසුද්දෙන්ම  කීවේ ඒකය. වැඩ ඇරී වැඩට යන ගැහැනු බීම සංස්කෘතික කෙළවීමක් ය. වැඩ ඇරී බාර් එකට යන පිරිමි බීම සංස්කෘතික ගොඩ යාමක් ය. මෙව්වා ඉතින් කැකිල්ලේ රීතිය.

ඒත් අපේ අත්තම්මා නම් කියන්නේ ඒ කාලෙ ළමයි හම්බෙන අයට දුන්නේ අරක්කු කියාය. ඒ ඔය කියන සභ්‍ය සංස්කෘතිය රැක ගත්තු අපේ ගම් වලය.  ගෑනුන්ට පිරිමින්ට කාට වුව එකය. ‍රාත්‍රී වේලකදි යමක් කමක් ඇති ගමක සාමන්‍ය පවුලක දෙන්න දෙමාල්ලෝ ගම්කුකුල් මසක බීර උගුරු කීපයක රස බැලූ කතා ඕනෑ තරම් ය. නිසි තැන ගෑනුන්ටය . පිරිමින්ට කතා කරන්නේ සමතැනය. එතකොට දෙගොල්ලො දෙතැනය. එක්කෝ දෙගෝල්ලෝම නිසි තැනකට ආ යුතුය. නැත්නම් දෙගොල්ලොම සම තැනක සිටිය යුතුය.

කොහොම උනත් එයා නම් කියන්නේ ප්‍රශ්නයක් ආවොත් දෙන්නම එකට බොමු කියාය. ඒක හින්දා ඊළඟ පාර එයාගේ ගානේ සැට් වීමට දැන් සියලු කටයුතු යෙදී හමාරය. ඒ අනුව බොන එකාලාට මෙන්ම බොන එකීලාටත් දැන් නිදහස තිබෙන්නේය. ඒවා තම තමන්ගේ පෞද්ගලික දේය.

අපි වාගෙ නොබොන එකාලා සහ එකීලාටත් ( ඒ අනුව ඉහත ඡේදයේ මුල් කොටස පට්ට පල් බොරුවක් බව අවබෝධ කරගනු මැනවි) කොයි පැත්තකින් හෝ කුමන හෝ සහනයක් ලබා දෙන තුරු අපි ඇඟිලි ගනිමින් සිටින බව කිව යුතුය. ස්තුතියි .

මීට මලියා ය.

Friday, January 5, 2018

ටොරිංටන් කොලම

           ටොරින්ටන්, කෙහෙරැල්ල සහ මම



ඩෙනිම් සාක්කුවට අත් දෙක ඔබා ගත්තම එන ගැම්මට ටොරිංටන් වෝකින් පාත් එක දිගේ ජොගින් කරන වයරින් නෝනල මහත්තුරු එක්ක හරි හරියට රබර් සෙරෙප්පු දෙක දුවනව. පුදුම සැහැල්ලුවක් ලබපු තැනක් ජීවිතේ. හැන්දාවරුවක් . උදෑසනක්. දවල් වරුවක්. ඒක වෙනම ලෝකයක කලාපයක්. නිදහස් චතුරස්‍ර්‍රේ උඩට නැග්ගම එක කෙලින් පෙනෙන තනි වෝකින් පාත් එක ඈතට දෙපැත්තට වෙලා එකත් පසව බලාගෙන ඉන්න කොළ පාට ගස් පේළිය හිතට ගෙනාවෙම සැහැල්ලුවක්. මං දවස් කීපයක ඉඳන්ම බැලුවෙ හුළඟ එන්නෙ කොයි පැත්තෙන්ද කියල. ගස් කොළන් මුදුන් අස්සෙන් පෙනෙන ජාතික පුස්තකාලෙ වහල පැත්තෙන් එක හෝසෙට එන හුළඟට ඇඟටම ඇලෙන සැහැල්ලු ඇඳුම් ඇඳන් එන ලස්සන බෝනික්කියො වගේ චීන තායිවාන් කෙල්ලො, හැම පැත්තටම කැමරා මානන කොට, ඒ කාලෙ කැමරාව ඉගෙන ගත්තත් කැමරාවක හිමිකමක් නොතිබුණු අපේ නෙතයි හිතයි දෙකම පැහැර ගත්ත. ඊට පස්සෙ හිතට එන්නෙම අම්මප චීනෙටම බින්න බහිනව කියල. කොහොමත් සමහරවිට එහෙම බින්න බහින්න හිතපු අයටයි නොහිතපු අයටයි හැමෝටම බින්න බහින්න චීනෙ ලංකාවටම එයිද දන්නෙ නෑ.

මේ අස්සෙ හඳුන්කූරු පැකට් රොත්තක්ම ගෙනැල්ල දුක කියල ඇඟේ ගහන්න හදන එකෙක්, තනියම වාඩිවෙලා බෑග් එකකුත් කරේ එල්ලගෙන ආකේඩ් අහස දිහා බලාගෙන හූල්ලන එකෙක්, එහෙම නැත්නම් නිදහසේ නිදහස් හුස්මක් අරන් ජීවිතේ අනාගතේ ගැන දශමයෙන් දශමය ප්ලෑන් කරන ගමන් හීන පුරවන කපල් එකක්, මේ හැම සිවිල් වැසියෙක්ම චෙක් කරන්න සිවිල් පිට බහින පොලිස් මහත්තුරු රොත්තක්, ඊටපස්සෙ ටිකකින් පොඩි කලබැගෑනියක්, නිදහස් චතුරස්‍රෙට එන්න විවාහ සහතිකෙත් එක්ක පොඩි එකෙක් අවශ්‍ය වෙන කාලයක්, හැමදේම හරිම සාමාන්‍යයි නේද කියල හිතෙනව ලංකාව ඇතුළෙ.
විනීතව හැසිරෙන්න. කුණු කසල නොදමන්න . ඒත් කෝ හරි කසළ කළමණාකරණයක් එහෙම කරන්න තරම් මිනිස්සුන්ටත් ආකල්පයක්. ඒත් කෝ ආදරෙන් තමන්ගෙ පෙම්වතියට හාද්දක් දෙන්න තැනක්. ඉතින් අපි තාම අපේ හැඟීම් යටපත් කරගෙන අර ආදි මානවයගෙ ජාගර ගතිය ඇවිස්සෙන්න හවසට බලන රෙස්ලින් එකක් බලල රත්වෙන්න අඩියක් ගහල ඉන්න හීනි ආතල් ගන්න ජාතියක් විතරයි.

ටොරිංටන් හුළඟ කියන්නෙ කොළඹ හතේ හුළඟ නම් ඒක හරි අහංකාර ධනේෂ්වර හුළඟක් වෙන්න ඕනෙ. ඔව් ඒක හරිම අහංකාර ධනේෂ්වර හුළඟක්. අපි වුණත් ප්‍රේම් ඇවිදගෙන ගියපු ගුවන්විදුලියයි රූපවාහිනියයි අස්සෙන් යන ප්‍රේම් මාවතෙන් ගිහින් බහින්නේ එහෙම නිදහස් හුස්මක් ගන්න ඒ ධනේෂ්වර හුළඟ වැදි වැදි.  ප්‍රාඩෝ ,BMW වයරින් කරපු ජිම් ඇඟවල් දිහා බල බල ටිකක් හූල්ල හූල්ල ඉන්න. ඒත් දවල් වරුවක කොළඹ කට්ට රස්නෙත් එක්ක ඒ රස්නෙන්ම බැට කන කපල් එකක් ඈත බංකුකවක නැත්නම් ඈත ගහක් පාමුල ටිකක් තුරුල් වෙලා ඉන්නව . දවසක් කඩි මුඩියෙ ජාතික පුස්තකාලෙ පැත්තට  පොත් එළිදැක්වීමකට දුවන අස්සේ ඈතින්  විසිල් පාරක් ඇහුණා. අම්මට සිරි මගෙත් එක්ක එකට ඉගෙන ගත්තු උන් අර ගස් වල තනි මකන හැටි දැක්කම දැනෙන පුංචිම පුංචි ඊරිසියා සතුට. සැලුට් එකක් දාල මං හෙමින් මාරු වෙලා යන්නෙ උන්ගේ නිදහස මේ නිදහසේ නාමයෙන් මේ නිදහසේ පියා ඉස්සරහම උන්ට ලැබෙන්න ඕනෙ නිසා. ඒක උන්ගෙ.

මං මේ ගැම්මෙන් දැන් මේ පාරවල් වල යන්නෙ නෑ. ඒ ගැම්ම දැන් නැති වෙලා ගිහින් . ඉස්සර මේවගෙ රස්තියාදු ගහපු රූපවාහිනී අභ්‍යාස ආයතෙනෙ කැන්ටිම ගාව ආපු ගියපු කාපු බීපු  අය අද එක්කො කන්ට්‍රෝල් රූම් වල හිරවෙලා. නැත්නම් ස්ටුඩියෝ එකක කැමරා පෙම්වතියන් තුරුල් කරගෙන. එහෙමත් වෙලාවක මට තවත් කල් තියෙන බව හිතාගෙන ඇයත් එක්කම මෙහේ එන්න ඕනෙම කියල හිතුණත් ඒ ගමන නැවතුණා . ඒ නිසා අද උනුත් නෑ මෙහේ ඇයත් නෑ මෙතැන. ආපි ගියපු කාපු බීපු අහපු දැකපු හැම මතකයක් ම එක්ක මං තාමත් චිත්‍රපට සංස්ථාවෙ තරංගනී එකට යන්නෙ හරිම බයෙන් මට බයයි අර ටොරිංටන් ගස් අස්සෙන් යන්න. කොන්ක්‍රීට් කොළඹ එක ක්ෂේම භූමියක් වෙච්චි ඒ ගස් මැද්දෙන් තනියම යද්දි මුහුණට මුණ ගැහෙන කොළඹ සරසවි මානවිකා මූණකට වැටිලා තියෙන කෙහෙ රැල්ල හෙමින් ඇගේම ඇඟිලි වලින්  ආයෙමත් හිසේ ලැගුම් ගන්න හැටි ටිකකට මං බලන්නෙ හරිම බයෙන් . එතකොටම දැනෙන එක්තරා අහිමි වීමක් සහ හිමි වීමක් අතර දෝලනය වන හැඟීම මේ කොළඹටම ඇරෙන්න වෙන කාටවත් කියන්න බෑ.

මට මතක් වෙන්නෙ ළඟඳි දවසක වසන්ත ප්‍රියංකර නිවුන්හැල්ල ආදරණීය කවිය මුහුණු පොතට එක් කර තිබූ කවිය. ඒකෙන් මගේ මේ කියාගන්න බැරි වුණ කතාව මං ඉවරකරන්නම්.

මල්
සමනලුන්
පවා
ලස්සන නෑ
ඔබ
මේ තරම්
ඈතින්
සිටින විට
මල්
සමනලුන්
පවා
ලස්සන
නැති විට
උයනක්
කුමටද?
මිනිසෙකුට
මා
උයන
හැරයන දවසට
අවසන් හුස්මට
මොහොතකට විතර
ඉස්සර
මතකයට ගමි
ඔබේ නම


- මලියා -