Tuesday, November 24, 2015

සහජීවන කොලම



එන්න පෙළ ගැහෙන්න සාධාරණ සමාජයකට

අපි හැමෝටම අපේ  ආගම හා ජාතිකත්වය ගැන අභිමානයක් තියෙනවා. මලියටත් එහෙමයි. හැබැයි ඒක ආඩම්බර කමක් නෙමෙයි. අභිමානය සහ ආඩම්බරය දෙක අපි අද පටලවගෙන තියෙන්නෙ.


යුද්ධය ඉවරවෙලත් අවුරුදු 6ක් වෙනව. ඒත් තාමත් ඡන්දයකදි යුද්ධය තමයි මාකට් කරන්නෙ. ඡන්ද ටික ඩැහැගන්න පුළුවන් නිලයකට ගහන්න දේශපාලකයො දන්නව. උතුරෙ අන්තවාදියො උතුර ගිනි තියද්දි දකුණෙ  අන්තවාදියො දකුණ ගිනි තියනව. මෙච්චර කාලයක් මේ ඇවිලිල්ල උඩ තමයි අපේ රටේ දේශපාලනය දිව්වෙ.


නාගදීපය නයනතිව් කළොත් මෙහේ එක දෙමළ නමක්වත් තියත්තෑ කියනව. මදය පුහු පොත්ත ඉදිමුණු සිංහල බෞද්ධ ලේබල් ගහගත්තු එවුනුත් හුරේ පාර දෙනව. ආයෙමත් අපි අහල තියෙන කළු ජූලියක් හිත අස්සට ඇවිත් මලියව බයකරනව.


එල්ටීටී සංවිධානයේ උන්නු සමහර සාමාජිකයින් පුනරුප්පාථනය වෙලා එළියට එද්දි  ආහු කොටි ලේබල් එක අලවනව. ඉතින් ඒ මනුස්සය හැමදාම කොටියම වෙනව. මොකද අපි හිතන් ඉන්නෙ ඉපදෙද්දිම ඒ මනුස්සය මිනීමරුවෙක් ත්‍රස්තවාදියෙක් කියල. ඒත් ඔහු එතැනට පත්වීම ගැන දිග කතාවක් තියෙනව. ඒක අපි සලකන්නෙ නෑ. ඒක අපිට වැඩක් නෑ. අවුරුදු  ගාණක් තිස්සෙ පුරුදු වෙච්ච සැක සහිත බැල්මෙන් තවමත් උතුර දකුණ එකිනෙකා දෙස බලනව.


යුද්ධයට කැමති උන්ගෙ ගොදුර යුද්ධයට අකමැති උන්. යුද්ධය කියන්නෙ මරණයම තමයි. යුද්ධ කරන්නෙ බෙදීම පවත්වා ගන්න එහෙම නැත්නම් බෙදෙන්න. අමිහිරි කාල පරිච්ඡේදයක් පහු කරගෙනයි අපි මෙතැනට ඇවිත් ඉන්නෙ. අලුත් ලෝකයට මේ බෙදීම් අයිති නෑ. අපි තාමත් ලෝකයට කියන්නෙ තුන්වන ලෝකයේ දියුණු වන රටක් කියල. කවද්ද අපි දියුණු වෙච්ච රටක්  වෙන්නෙ? කවද්ද මේ බෙදීම් නවත්තන්නෙ?


අපි කොයි තරම් පහත් තත්ත්වයකට වැටිල ඉන්නවද කියල මතක් වෙන්නෙ මේ වෙලාවට. දවසක් මලියගෙ යාළුවෙක් අපූරු දෙයක් කියනව. “උඹල අයිලාන් ගැන කතා කරපු තරම් සේ යා ගැන කතා කරන්නෑනේද? උඹලට අපේ දේවලට වඩා පිටරට දේවල් තමයි ලොකු.“  ඉතින් මලියා මේ සහෘදයාට අනුකම්පා කරල CHAT එක නැවැත්තුව. මොකද සේයා ව නැවත නැවත අපහරණය කරන්න මලියට බෑ. සමහර මාධ්‍ය වගේ මලියා  එහෙම තුච්ඡ වැඩ කරන තිරිසනෙක් නෙමේ.


උන් ගැහුවොත් අපිත් ගහනව. අපේ එකාට උන්ගෙන් පහයි. පිරිසිු ලේ තියෙන්නෙ අපට. අපි කුළල් කකා ජීවත් වෙනව. ඉතින් හිට්ලර්ගෙ නාසිවාදයයි අපේ ජාතිවාදයයි අතරෙ මලියට නම් වෙනසක් පේන්නෑ. මලිය හැමදාම ආසයි මාතර බත් කඩෙන් බත් එකක් කාල ෆාරිස් අයියගෙ කඩෙන් රීලෝඩ් එකකුත් දාගෙන සෙල්වානි ඇන්ටි ගෙන් පත්තරෙත් අරන් ගෙදර එන්න. මලිය ඉල්ලන්නෙ අපේ වැඩිහිටි පරම්පරාවෙන් . අනේ මේ  අලුත ඉපැදෙන පැටවුන්ටනම් ඔය ජාති වාදය කියන විස නම් කවන්න එපා. ඒක අපේ පරම්පරාවෙන්වත් නවත්තගමු.


මලියට මේ වෙලාවෙ මතක් වෙන්නෙ අපේ මාදුළුවාවේ සෝභිත නායක හාමුදුරුවන්ව. උන්වහන්සේ තරම් සහජීවනය ගැන කතාකරපු ඒ වෙනුවෙන් පෙනී ඉපු වෙනත් යතිවරයාණන් වහන්සේ නමක් මෑත ඉතිහාසෙම අපට හමුවෙන්නෙ නෑ. අන්‍යාගමිකයින් පවා ඇවිත් උන්වහන්සේට අවසන් ගෞරව දැක්වුවා. උන්වහන්සේගේ වියෝ අපි හැමෝගෙම හදවත් කුළින් තෙත් කළා. මලියගෙ පෑන නළියන්න පටන් ගත්ත. අපි උන්වහන්සේ පැතූ ඒ සහජීවනයෙන් යුතු සාධාරණ සමාජය වෙනනුවෙන් පෙළ ගැසෙමු.



සෝභිත නා හිමියනි,

වියෝගය කුළක්ව

උනාවිත් හැම නෙතට

නිවන් සුව ලැබේවා

කියන මුත් පුරුද්දට

කියාදී මිස දහම

මේ දුදනන්ට

වඩින්ට නම් එපා හිමියනි
නිවන් පුරයට


                                                                    මීට,   මලියා

Sunday, November 22, 2015

Film festival කොලම



 අපි ඇවිත් පිරුණා



මලියා පහුගියදාක ගොඩවුණා කොළඹ ජාත්‍යන්තර සිනමා උළෙලට. කට්ට කාල කට්ට කාල යාන්තම් ෆිල්ම්ස් 6ක් බලාගත්ත. සමහර ෆිල්ම්ස් බලන්න පෝළිමේ ඉඳල ඒත් බලාගන්න බැරිවුණා. ඒකෙන් හොඳ පාඩමක්  ඉගෙන ගෙන මෝටර් බයිසිකල් බලන්න පැය දෙක හමාරකට කලින් ඉඳල පෝළිමේ උන්න. කට්ට කෑවට පාඩුවක් නම් වුණේ නෑ.
මලියට මතක් වෙන්නෙ ශමීර රංගනගෙ මෝටර් බයිසිකල් එක හුස්මට බලපු     ප්‍රේක්ෂකාගාරයෙ ප්‍රතිචාර ටික. ‘පට්ට‘ . ‘එළ‘ . හදවත් වලට ඒ තරමට  ෆිල්ම් එක වැදිල තිබුණා. අනාගත සිනමාව කොයිතරම් ඉදිරිගාමී ද කියල මලියට හිතුණ. ඒත් ඛේදවාචකය මේ ෆිල්ම් එක කරල අවුරුදු 3ක්. ෆිල්ම් හෝල් වලට එන්නෙ අවුරුදු  4කට පස්සෙ. මේ ගැන හිතද්දි මලියගෙ පපුවත් දවාගෙන යනව. කොටින්ම කියනවනම් තමන්ගෙ ෆිල්ම් එකේ ලීෆ්ලට් එක පවා බෙදුවෙ ශමීර. එහෙම බලද්දි ශමීරගෙ කැපවීම අග්‍රගණ්‍යය යි. ඒ කැපවීමට ඇගයීමක් කොළඹ සිනමා උළෙලේදීත් දෙරණ සිනමා සම්මාන උළෙලේදීත් ශමීරට ලැබුණ.

ඉසුරු වීරසිංහගෙ the letter  චිත්‍රපටයටත් මලියගෙ හිත ගියා. මිනිස් හැඟීම් අපූරුවට කතාතරන්න පුළුවන් කන්සෙප්ට් එකක් උඩ ඔහු ෆිල්ම් එක දුවවල තියෙනව. විශේෂත්වය තමයි මේ චිත්‍රපටයෙ හැම කෙනෙක්ම ආධුනික ශිල්පියො. ඒත් ප්‍රවීණයි කියල හිතාගෙන ඉන්න නළු නිළි බබාලට වඩා මේ කට්ටිය ගොඩක් ඉස්සරහින් ඉන්නෙ. මලිය ඒ ගැනත් කියන්නම්කො.
ෆිල්ම් ෆෙසටිවල් පැත්ත පළාතක නොගියපු සමහර නළු නළියො ඒකට හේතුව විදියට  කියන්නෙ ඒකට ආරාධනා කළේ නෑ කියල. අනේ අනිච්චං. මලිය දන්න තරමට නම් කාටවත් එහෙම ෆිල්ම් බලන්න බුලත් දුන්නෙ නෑ. සිනමාව ගැන ඇම්මක් තියෙන මිනිස්සු ඇවිත් චිත්‍රපට නැරඹුව. මේ අය මෙහෙම කියද්දි the letter  film crew එක තමන්ට ඇතුළට යන්න අවසරපත් තියෙද්දිත් පෝළිමේ පැය ගණන් උන්නෙ සමහර නළු නිළි බබාලගෙ වගේ මේ අයගෙ ඔළු ඉදිමිලා නොතිබුණු හින්ද. ඒකට මලියගෙ උත්තමාචාරය.
‘ඔබ ඇවිත් පිරෙන්න‘ කිව්වට ඇත්තටම උතුරන්න සෙනග හිටිය. ඉතින් මලියට සමාවෙන්න ලංකාවෙ චිත්‍රපට වලින් මේ දෙක විතරක් නරඹන්න වෙච්ච එක ගැන . ඒ වගේම කියන්ඩ ඕන සිනමා ඒකාධිකාරීත්වයක් තියාගෙන ඉන්න ප්‍රවීණයන්ට ඇඩ්‍රස් නැතිවෙද්දි අපේ තරුණයන්ගෙ සිනමාව ගිනි අඟුරු වගේ රත් වෙවී තියෙන වග. හැබැයි කොයිවෙලේ ඇවිලෙයිද දන්නෙ නෑ.
                                                                                                                    
                                                                                                                මීට,   මලියා