Tuesday, February 13, 2018

වැලන්ටයින් කොලම

ප්‍රේමයේ අවකාශය සපුරාලනු වස්




වැලන්ටයින් අදය.  වැලන්ටයින් පියතුමාගේ මළගම ,භෞතිකව මෙන්ම  වැලන්ටයිනියානු දර්ශනයේ මළගමද අදය. එසේත් නැත්නම් විකිණෙන  සන්නාමය ආදරවන්තයින්ගේ දිනය වැලන්ටයින් ඩේ එක අදය.

බුකිය පුරාමත් තැනින් තැන ඇහෙන දකින කියවීම් අතරත් වැලන්ටයින් දිනය ගැන විව්ධ අස්ථානයන් හමුවේ. එක් අන්තයක් වික්ටෝරියානු සදාචාරවාදී දැක්මක් වැලන්ටයින් දිනය දෙස හෙළමින් එය පිළිකුළ් සහගතව බැහැර කරයි. අනෙක් අන්තයෙන් ධනවාදී වෙළඳපොළ විකිණෙන වෙළඳකරණය වූ දිනයක් ලෙසද අද සැළකිය හැක. පැහැදිලිව මේ අස්ථාන දෙකෙන් එක් අන්තයක් නියෝජනය කරමින් බොහෝ දෙනා අදහස් දක්වන බව පෙනේ. මම පෞද්ගලිකව මෙවන් දිනයක් තිබීම ගැන ආදරවන්තයින්ට වෙන් වූ දිනයක් තිබීම ගැන කිසිදු විශේෂත්වයක් නොදක්වමි. එහෙත් මෙහි ඓතිහාසික ගොඩනැඟීම දෙස සහ පුහු සදාචාරවාදීන්ගේ දැක්මත් සීනිබෝල ආදර ( අනාදර) වෙළඳපොළත් තුළ  ප්‍රේමයට ඇති වටිනාකම කුමක්ද යන්නත් විමසා බලනු වටී.

2වන ක්ලෝඩියස් රෝම අධිරාජ්‍යයාට ස්වකීය බල ප්‍රදේශය ව්‍යාප්ත කරගනු වස් සිය යුධ බලඇණිය වැඩි කිරීමට අවශ්‍ය විය.ඒ සඳහා විවාහ තහනම් කළ අතර වැලන්ටයින් පියතුමා මෙලෙස විවාහ වීමට නොහැකිව සිටි තරුණ තරුණියන්ව රජුට රහසින් විවාහ කළේය. එහෙත් මේ බව දැනගත් පසු රජු වැලන්ටයින් පියතුමාව ඝාතනය කළ අතර එතුමා ඝාතනය වූ අද දවස වැලන්ටයින් දිනය නම් වන බව ඉතිහාසය සඳහන් කරයි. එතුමා ප්‍රේමය වෙනුවෙන් සිය ජීවිත පරිත්‍යාගය කළ දිනය, අද වන විට වෙළපොළ වැඩියෙන්ම වෙළඳකරණයට ලක් වූ දවසක් බවට පත්ව තිබෙයි. විවාහය , තමා ප්‍රේම කරණ තරුණිය හෝ තරුණයා සමඟ විවාහ වීම කුටුම්භගත වීමේ ශිෂ්ඨාචාරගත මනුෂ්‍යයාගේ අයිතිවාසිකමක් වන අතර එතුමාගේ වෑයම වූයේ එකී මනුෂ්‍ය අයිතිවාසිකම ලබාදීමය. එහෙත් ප්‍රේමය නමින් අද උත්කර්ෂවත් වන්නේ කුමක්දැයි අප යළි යළිත් සිතා බැලිය යුතුය. අද වෙන්ව තිබෙන්නේ ආදරවන්තයින්ට. එසේනම් ඒ ආදරවන්තයින් අතර තනි පුද්ගලයන් සිටිය හැක. යුගළ සිටිය හැක. ඒක පාර්ශවිකව ප්‍රේම කරන්නන් , තමාගෙ ප්‍රථම ප්‍රේමය හා තවම ආත්මගතව සිටින්නන් මේ කාට වුව වයස් භේදයකින් තොරව ප්‍රේමය පොදුය. එසේනම් ප්‍රේමය වෙනුවෙන් වූ අද දිනයද කාටත් පොදු විය යුත්තක් වුවද එය වෙළපොළකරණය තුළ අනුකණ්ඩායමක් ඉලක්ක කරගෙන සාර්ථකව අලෙවි කරෙයි. සියලු දිනයන් විකිණෙනා මොහොතක සදාචාරවාදීන් මහා ඉහළින් වෙසක්ද , නත්තලද අපූරුවට විකුණමින් ආදරවන්තයින් ගේ දිනයට ඇඟිල්ල දිගු කිරීමද තමාගෙ තුත්තිරි නොපෙනීම සම්බන්ධ කාරණාවකි.

මෙවන් මොහොතක සමාජ සංස්කෘතික හර පද්ධතීන් විසින් ප්‍රේමය ස්ථාන ගත කරන්නේ කොතැනද? "ප්‍රේමයේ අවසන් ඵලය විවාහය' නම් වූ බාහිර කවචයේ රිංගවා ප්‍රේමය නම් වූ කොන්දේසිය නොපුරවා අනෙක් සියලු කොන්දේසි සපුරා( හඳහන්, පොරොන්දම් , කුලය, ආගම ජාතිය, බලය, භාෂාව, වයස, රැකියාව, ලිංගිකත්වය ) කෙරෙන දෙදෙනකුගේ එක්වීම ( මෙය එක්වීමකටත් වඩා එක් කිරීමකි.  හමුවීම් කෙරෙන වෙබ් පිටුද, මංගල දැන්වීම් තීරුද, සාම්ප්‍රදායික වැඩිහිටි පිරිසද මේ අවකාශය සපුරාලයි) ප්‍රේමයට තව දුරටත් ඉඩ කඩ අහුරමින් සිටියි. ප්‍රේමය තවදුරටත් අර්බුදයක් වෙත තල්ලු කරමින් සිටියි. සියලු තහනම් නියෝග ගෙනෙමින්ද ප්‍රේමයට තව දුරටත් ඉඩක් නොතැබිය යුතු බවටත් අරුමෝසම් වෙළඳ භාණ්ඩ විවාහ මංගල ඇඳුම් ආයිත්තම් සැරසිලි සියල්ලක්ම දෙදෙනෙක් අතර ඇතිවන්නා වූ ඒ උත්තම මනුෂ්‍ය බැඳීම් කෙරෙහිත් වැටකඩුළු පනවන යුගයක ය අද ආදරවන්තයින්ට දිනයක් වෙන්වන්නේ. එදා වැලන්ටයින් ට සිටියේ ක්ලෝඩියස්ය. අද ක්ලෝඩියස්කරණය වී තිබෙන්නේ  මෙකී වෙළඳ ආර්ථික ක්‍රමය වන අතර ඊට එරෙහිව සටන් කිරීමට අපට වැලන්ටයින්ලා ඇවැසිය. ප්‍රේමයට ප්‍රේම කරන වැලන්ටයින්ලා ඇවැසිය. කොන්දේසි විරහිතව මනුෂ්‍ය බැඳීම් කෙරෙහි අතිශය සංවේදී වන්නා වූ මනුෂ්‍යයත්වක් මේ මොහොතේ අපි බලපොරොත්තු වන්නෙමු. ඇලන් බදියු නම් ප්‍රංශ දාර්ශනිකයා කීයන්නා සේ ' ප්‍රේමයේ සැබෑ විශය වන්නේ එක් එක් තැනැත්තාගේ හුදු තෘප්තිය නොව යුවළක් බවට පත්වීම යන්න යමෙක් පිළිගතහොත් ඒ අර්ථයෙන් ප්‍රේමය කොමියුනිස්ට්වාදී බවයි'. ( ප්‍රේමය පසස්නු වස්- පරිවර්තනය - කෞෂල්‍ කුමාරසිංහ , විදුර ප්‍රභාත් මුණසිංහ)

ප්‍රේමය කෙරෙහිත් ආදරවන්තයින්ගේ දිනය කෙරෙහිත් සදාචාරවාදීන් ගේ හා මේ වෙළඳ ආර්ථික ක්‍රමයේත් දැක්මෙන් වියුක්තව ප්‍රේමය දෙස ප්‍රේමයේ පාර්ශවයෙන් බලමින්ද විඳිමින්ද ප්‍රේමයේ ගිලිහෙන අවකාශය ප්‍රේමයෙන් සංතෘප්ත කරමින් ප්‍රේමයේ සාන්ද්‍රණය වැඩි කිරීමට වැලන්ටයින් දිනය ඇරඹුමක් කර ගත යුතුය. වෙන් වීමකට එරෙහි සාර්ථක අරගලය එතැනින් ආරම්භ විය යුතුය. ඒ නිසා මා දයාබර මිතුරනි. ප්‍රේම කරන්න තව තවත් ප්‍රේම කරන්න. දරාගත නොහැකි තරමටම කොන්දේසි විරහිතව ප්‍රේම කරන්න. එය මනුෂ්‍යත්වය යළි යළි ඉහළට ඔසවා තබන ආදරණීය ඇරඹුමක් වනු ඇත.


- මලියා -