Thursday, April 7, 2022

 මුළු රටටම

එක තැනකට එන්න බැරිද

එක දවසක

අපට එකතුවෙන්න බැරිද

 

හොරාකාපු සල්ලි අපිට ගන්න බැරිද

ඒ වෙනුවෙන් අපට එකතු වෙන්න බැරිද

 

රට වනසපු එකා ගෙදර යන්නෙ නැද්ද

පාට පාට එක පාටක් වෙන්න බැරිද

 

කන්න බොන්න යන්න එන්න සල්ලි නැද්ද

ඔබෙන් මගෙන් හොරකම් කළ සල්ලි නේද

 

රට ඉවරයි රට ඉවරයි කිව්ව මදිද

එක තැනකට අපිට එකතු වෙන්න බැරිද

 

මහපාරේ මිනිස්සු මියගියා මදිද

මිනිස්සුන්ට ගහන්න උට ලැජ්ජ නැද්ද

 

අම්මෙ තාත්තෙ ඔයත් ඡන්දෙ දුන්න නේද

අපිට රටක් හෙට දවසක් ඕන නේද

 

මුළු රටටම එකතැනකට එන්න බැරිද

එක දවසක අපිට එකතු වෙන්න බැරිද


-මලිඳු කාවින්ද කුමාරසිංහ

 

එකෙක් වගේ මහපාරේ අයියලා
අපි වෙනුවෙන් ගිනි අව්වේ අක්කලා
රජමැතිවරු ඇයි මැදුරේ හැංගිලා
දැක්කෙ නැද්ද ඝන අඳුරේ අම්මලා

උතුරෙ දකුණෙ මැරුවෙ අපේ අයියලා
කඳුළු ගොඩේ ගිළුණේ අපෙ අක්කලා
තාත්ත ඇස්වල කඳුළැලි හංගලා
රජමැතිවරු ඇයි මැදුරේ හැංගිලා

එකෙක් වගේ මහපාරේ අයියලා
අපි වෙනුවෙන් ගිනි අව්වේ අක්කලා
රජමැතිවරු ඇයි මැදුරේ හැංගිලා
දැක්කෙ නැද්ද ඝන අඳුරේ අම්මලා

බිම පැදුරේ කිරි ඉල්ලන මල්ලිලා
පොත පත නැති ගම්වල ඇති නංගිලා
රජමැතිවරු ඇයි මැදුරේ හැංගිලා
දුකක් නැද්ද දරුවො වඩන් අම්මලා

එකෙක් වගේ මහපාරේ අයියලා
අපි වෙනුවෙන් ගිනි අව්වේ අක්කලා
රජමැතිවරු ඇයි මැදුරේ හැංගිලා
දැක්කෙ නැද්ද ඝන අඳුරේ අම්මලා


-මලිඳු කාවින්ද කුමාරසිංහ

 

හොර දෙටුවෙක් ඇත රජ මැදුරේ
අපේ ධනය ඒ රජ මැදුරේ

මහජනයා ඉන්නෙ අඳුරේ
හොර දෙටුවා ඇත රජ මැදුරේ

පුරවැසියෝ අපි සිර මැදුරේ
හොර දෙටුවා ඇත රජ මැදුරේ

අතදරුවෝ අඬමින් පැදුරේ
සොර දෙටුවෝ අද රජ මැදුරේ

අතිනත් අල්ලා මහපාරේ
සොර දෙටුවා එලවමු මිතුරේ


-මලිඳු කාවින්ද කුමාරසිංහ

 


ඉපදුණු රටේම සිරකළ මිනිසුන්
නිවටෙක් සිතුවට වේයැයි නිවටුන්
එකා වගේ උන් අත් අත් අල්ලන්
අදින් පසුව නැඟිටින හැටි බලපන්

දැනෙනවානම් ඔබට
හිරු එළිය නැති අඩුව
පෙනෙවානම් ඔබට
අඳුරු මූසල අහස
ඇහෙනවානම් ඔබට
ගිගුරුමක් වැහි නැතිව
වලා පවුරම බිඳින
දෑත් ඔසවනු මිතුර

ඉපදුණු රටේම සිරකළ මිනිසුන්
නිවටෙක් සිතුවට වේයැයි නිවටුන්
එකා වගේ උන් අත් අත් අල්ලන්
අදින් පසුව නැඟිටින හැටි බලපන්

අපි අත් අතින් අත අල්ලාගෙන හිඳිමු
තනි තනිවම වුණත් එකවිට හඬ නඟමු
මඳ සුළඟකට පිඹ මහ සුළඟක් කරමු
මිනිසුන් පෙළන රජෙකුට එරෙහිව නැඟෙමු


-මලිඳු කාවින්ද කුමාරසිංහ

 මේ මගේ රට මගේ ජාතිය ආගමයි කියලා

ඡන්දෙ ගන්නට ආයෙමත් එනවද උඹලා
වඳපෙතිද වඳ කරපු අම්මලත් හොයලා
වඳ කළේ රුපියලද අම්මලද උඹලා

හිතට නැති ගතට වෙති ඒ සිවුර ඔතලා
කලින් කල  ඇවිල්ලා අඩි පොළෙවෙ ගහලා
සිංහලයො සිංහයෝ එක රටක් කියලා
කෝ කොහෙද සිංහයෝ හැංගිලද උඹලා

රාවණා නැඟිටින්න දැන් ළඟයි කියලා
අපිට නැති දරුවන්ට රටක් ගැන හිතලා
කතිරයක් ගහන්නට යනවනම් ඔහෙලා
අත අරන් යන්නෙපා හිස ගෙදර තියලා


-මලිඳු කාවින්ද කුමාරසිංහ

 

මල් පිපෙන්න සුවඳ දෙන්න

අරගලබිම එළිය වෙන්න

අයියෙ අක්කෙ නංගි මල්ලි

අම්මෙ තාත්තෙ එකතු වෙන්න

මේ හොරුන්ව හිරේ යවමු
අපේ සල්ලි දෙන්න කියමු
එකට එක්ව නැඟී සිටිමු
අපි ලස්සන රටක් හදමු

මල් පිපෙන්න සුවඳ දෙන්න
අරගලබිම එළිය වෙන්න
අයියෙ අක්කෙ නංගි මල්ලි
අම්මෙ තාත්තෙ එකතු වෙන්න

ආදරයෙන් එකට ඉන්න
අත් අල්ලන් පාරෙ යන්න
අපිට අපේ රටේ ඉන්න
රට හොරු ටික ගෙදර යන්න

මල් පිපෙන්න සුවඳ දෙන්න
අරගලබිම එළිය වෙන්න
අයියෙ අක්කෙ නංගි මල්ලි
අම්මෙ තාත්තෙ එකතු වෙන්න

රජෙක් එපා පන්නමු
මිනිස්සු පත්කරගමු
විධායකේ නවතමු
එකෙක් වගෙ නැඟිටිමු

මල් පිපෙන්න සුවඳ දෙන්න
අරගලබිම එළිය වෙන්න
අයියෙ අක්කෙ නංගි මල්ලි
අම්මෙ තාත්තෙ එකතු වෙන්න

තුවක්කු බිම දා එමූ
ගල් මුල් අතහැර යමු
රජ ගේ ගාවට යමු
හූවක් සද්දෙන් දෙමු

මල් පිපෙන්න සුවඳ දෙන්න
අරගලබිම එළිය වෙන්න
අයියෙ අක්කෙ නංගි මල්ලි
අම්මෙ තාත්තෙ එකතු වෙන්න


-මලිඳු කාවින්ද කුමාරසිංහ

 මහපාරට බැස කොළඹට පැමිණෙව්

මහපොළොවේ සිට අරගල අරඹව්

නිදනා මිනිසුනි දැන්වත් නැඟිටිව්
අවි ආයුධ නැති සටනට සැරසෙව්

සිංහල මුස්ලිම් දෙමළුනි එක්වව්
‍රතුකොළ නිල් උනි සටනට එක්වව්
සතර දෙසින් එක තැනකට පැමිණෙව්
හෙට වෙනුවෙන්වත් නැඟිටිව් නැඟිටිව්

කළු ඇඳුමින්වත් මිනිසුනි සැරසෙව්
කළු රෙදිපටියක් අත්වල පළඳව්
සහයෝගය මේ සටනට දක්වව්
අවපාලන රජ මැතිඳා පරදව්

මහපාරට බැස කොළඹට පැමිණෙව්
මහපොළොවේ සිට අරගල අරඹව්
නිදනා මිනිසුනි දැන්වත් නැඟිටිව්
අවි ආයුධ නැති සටනට සැරසෙව්


-මලිඳු කාවින්ද කුමාරසිංහ