Friday, January 22, 2016

සිංහලේ කොලම (කෝලම)



සිංහයන්ට නොව සිංහලයන්ට


මලියා එක කොලමකින් සහජීවනය ගැන කතා කළා. ඒ වුණත් මේ දවස් වල අපේ ඈයන්ට හැදිල තියෙන සිංහලේ උණත් එක්ක ආයෙමත් මේ ගැන ටිකක් කතා කරන්ඩ හිතුණා. සිංහලේ  වදන අවභාවිත කරමින් ඇරඹිලා තියෙන මේ ජාතිවාදී ව්‍යාපාරය කුහක දේශපාලකයන්ට නම් තමන්ගෙ ගොඩ වැඩිකරගන්නට හො අවස්ථාවක්. බහුතර සිංහල ප්‍රජාවක් වාසය කරන ශ්‍රී ලංකාව ඇතුළෙ "අන්න අරුන් අපිව වනසන්න කුමන්ත්‍රණ කරනව" කියපු ගමන් සිංහලයන්ගෙ ලේ කුපිත වෙනව. උතුරේ සිවාජිලිංගම්ල විග්නේෂ්වරන්ල යුදුධෙන් බැටකාපු දෙමළ මිනිස්සුන්ටත් පොවන්නෙ මේ ටිකම තමයි. හැම ජාතියකම ඉන්න අන්තවාදියො මිනිස්සුන්ට වස පොවන්න පටන් ගන්නව. මොකක් හරි රස ලොලිපොප් එකක් අස්සෙ දාල. යුධ සමයෙදි හැම දෙමළ මිනිහාම කොටියා ගානට දාපු අපි අපේ මුස්ලිම් සහෘදයන් දෙසත් වපරැහිත් බලන්න පුරුදු වෙලා තියෙන්නෙ  අඩු අධ්‍යාපනලාභී මන්දමානසිකත්වය නිසා. සම්පන්දන්  ඒකීය රටක් වෙනුවෙන් අත උස්සද්දි විග්නේෂ්වරන්ල කෑ ගහනවා. අපේ කස්ටියත් ඊළම එනවෝ කිය කියා තෙපරබානව. බලන් ගියහම 
දෙගොල්ලන්ටම ඕන වෙලා තියෙන්නෙ එකම දේ.

එක පැත්තකින් මේ තත්ත්වය සාධාරණයි.  සිංහලේ අගටත් ලේ බිංදු වැගිරෙන ලේ කෑල්ලක් එකතු කරගන්න එක අවුරුදු 30 ක ලේ වැගිරුණ  ලේ පිපාසිත මානසිකත්වයේම ප්‍රතිඵලයක්. සිංහල බෞද්ධ බෝඩ් ලෑලි එල්ලගෙන කැ ගහන සමහරුන් නොදන්නා ගොඩක් දේ තියෙනවා. උතුරේ මායිම් ගම්මාන වල තවමත් මිනිස්සු දුක් විිනව. පවුල් වල ගැහැනු උදවිය මැදපෙරදිගට කඹුරලා කඹුරලා පණ ඇතුව හරි
 නැතුව හරි මියැදිලා ආපහු ලංකාවට එනව. එහෙව් පවුල් වල ගැහැනු දරුවො අවුරුදු 12න් 14න්  තමන්ගෙම තාත්තල බාප්පල හින්ද අම්මල වෙනව. මුලතිව් වගේ පළාත් වල සමහර හුදකලා සිංහල ගම්මාන ගැන අපි දන්නවද? ඒ සමහර ඉස්කෝල වල උගන්වන්නේ රුපියල් අටදහේ පඩියට සිවිල් ආරක්ෂක අංශයේ අය. එතකොට අපේ අධ්‍යාපනය කොතැනද තියන්නේ කියල හිතාගන්ඩ පුළුවන් නේද? මේ ගම්මාන වල සමහර පන්සල් අරක්ගත්තු චීවරධාරියො අතින්ම කෙළෙසෙන මල් කැකුළු ගැන සිංහලේ බෝඩ් අලවාගත්තු අයියලනම් හාන්කවිසියක්වත් දන්නෙ නැතුව ඇති. මලියා  කැමතියි සිංහලේ සහෘදයින්ට ආදරෙන් මතක් කරන්න. පුළුවන් නම් මේ ගම්මාන වලට ගිහිල්ල යුද්ධයෙන් ඉරිතලපු මේ මිනිස් ජීවිත වලට දියපොදක් ඉහින්න ඒ තරම් සිංහල කමක් තවත් නෑ.  


බුර්කාවට කෑ ගහන අපිට සිංහල පමණක් රාජ්‍ය භාෂාව කළ යුතුයි කියල කෑ ගහන අපිට , කෙල්ලො කොටට අිද්දි ගෑනු බුරිය පේන්න අිද්දි (හිතෙන් සතුටු වෙවී) ලෝකෙට පේන්න සිංහල සංස්කෘතිය ඉවරයි කියල කෑ ගහන අපිට, ඒ මිනිස්සුන්ගෙ වියැළුණ ජීවිත නොපෙනෙන එක පුදුමයක් නෙමේ.

පුංචි මල් කැකුළු හිත් හරි පිරිසිදුයි. ඒවට ජරාව පුරවන්නෙ අපි. මේ පුංචි එවුන් ඉපදෙද්දිම ශරීර කූඩුවේ කොහේ හරි කොටල තියෙනවනම් මේකා සිංහලය මේකා දෙමළය මේකා මුස්ලිම්ය කියල උන්ට වෙන වෙනම ලේ වර්ග දීලා තියෙනවනම් මිනිස් සංහතියම මීට කලින් මේ ලෝකේ හැර ගිහිල්ල. ඒකයි හිට්ලර්ටත් වැඩ වැරදුණේ. ජර්මානුවන් ශුද්ධ වූ ජාතියක්ය කියන සංකල්පය කරපින්නාගෙන අන්තවාදයට ගිය ජර්මනිය අද සරණාගතයින්ට සරණ වෙන තැනට පත්වෙලා. බටහිර රටවලින් ජර්මනිය තරම් ලෝක සාමය වෙනුවෙන් පෙනී ඉන්න තවත් රටක් නෑ.

දුක් විින කඨෝර මිනිස් ජීවිත සනසන්නට  දෑත දිගුකළ හැකිනම් ඒක තමයි නියම සිංහල බෞද්ධකම කියල මලිය ආයෙත් මතක් කරනව. එහෙම නොවුණොත් අනෙක් ජාතීන් නෙමෙයි සිංහලයාගේ මිනී වල කපා ගන්නෙ සිංහලයාම තමයි.
                                                            මීට     
                                                                A+ රතු පාට මිනිස්  ලේ ඇති මලියා