Sunday, November 20, 2016

මිනි ගවුම් කොලම



අඳින්න මිනි ගවුම අඳින්න



                
















 කාලය වේගයෙන් ගෙවී යයි . බොහෝ දේ වෙනස් වෙයි. අලුත් පරම්පරා ඇතිවෙයි . නව නිපැයුම් බිහිවෙයි . අලුත් අදහස් බිහිවෙයි. මිනිසා තවමත් සිතයි. ලෝකය ඉදිරියට ගමන්කරයි. හණමිටි අදහස් කරපින්නාගත්තෝ " අපේ කාලේ මෙහෙම නැතේ අනේ අපොයි" කියමින් හූල්ලති. සම්ප්‍රදාය සංස්කෘතියේ බූදලයක් යැයි ඔවුහූ සිතති. එය එසේ විය යුතුනම් ආදි මානවයාගේ සම්ප්‍රදායන් එලෙසින්ම ආරක්ෂා කරමින් ගිනි පුදමින් අමු මස් බුදිමින් නිරුවතින්ම අප සිටිය යුතුය. එහෙත් එය එසේ නොවූයේ මිනිසා සිය චින්තනය මෙහෙයවමින් සම්ප්‍රදායේ නරක තැන් හලා ශිෂ්‍ඨත්වය කරා ගමන් කිරීමට යත්න දැරූ නිසාය. මෙලෙස ඉදිරිගාමී සංස්කෘතිය හමුවේ යාවත්කාලීන වනු අකමැති සුළු පිරිසත් කාලානුරූපී පරපුරත් අතර ගැටුම් හටගත්තේය. මෙය අදක ඊයෙක ආරම්භ වූවක් නොව ඉතිහාසය පුරා පුනරාවර්තනය වූ ක්‍රියාවලියකි. එහෙත් අවසානයේ කාලානුරූපි පරපුරේ පැවැත්ම තහවුරු විය. අපේ සමාජය තුළද සම්ප්‍රදාය හිස් මුදුනෙන් පිළිගත්තවුන්ටද නූතනත්වය පෙනෙනුයේ සංකර ලෙසය.

                            දැන් හැදෙන උන් අවිනීතය, සංකරය. හැමෝගෙම නොවුණත් බොහෝ
වැඩිහිටි අයවලුන්ගෙන් තාරුණ්‍යට එල්ල වන දෝෂාරෝපණයකි එය. පෙර කී සංසිද්ධියට අනුව ඔවුනගේ මේ දෝස්මුරය සාධාරණය. ස්වභාවික ය. මතු පරපුරට ඔවදන් දැනමුතුකම් ලබාදිය යුතුය. ඊටත් වඩා මතු පරපුරේ සුබසිද්ධිය තකා ආදර්ශයෙන්ම ක්‍රියාත්මක වීම වටනේය.

                           අද වර්තමානයේදී කොට ඇඳුමක් අඳින තරුණිය දැක හූල්ලන පිරිසට හැට හැත්තෑ ගණන්වල තමන් හැඳි මිනි ගවුම සිහි නොවීම පුදුමයට කරුණකි. ඒ ඒ යුගවල පවතින සමාජ සංස්කෘතික බලපෑම් හමුවේ තරුණ ප්‍රජාව විවිධ විලාසිතාවන්ට යොමු වේ. ගැටුම ඇතිවන්නේ මේ යුග දෙකක සංස්කෘතීන් අතරය. මීට දශක කිහිපයකට මෙපිට ඇති වූ ඇහි බැම ගෑමේ විලාසිතාව එදා මිනි ගවුම් හැඳ ලැක්ටො කැලමයින් ගෑ පරපුර නුරුස්සන්නෙ එබැවිනි.  යම් විදියකින් ඩේවිඩ් බෙකම්ට පෙර විජයලා ගාමිණී ලා බෙකම්ගේ මෝසතරයටම කොණ්ඩය කැපුවානම්  ඒ කාලේ තරුණයන්ද බෙකම් කට් කපනු ඇත.


                            පාසල් ගුරුවරියන්ද ඉන නාභිය නොපෙනෙන්නට සාරි ඔසරි ඇඳිය යුතු බව කියන්නේ සම්ප්‍රදායත් සංස්කෘතිත් පටලවාගත් පුහු සුචරිවාදීන්මය. එය එසේ විය යුතු නම් වික්ටෝරියා යුගයේ මෙන් ගෑනුන්ට බොස්තොරොක්ක ඇඳ ගෙලේ සිට ඇස් වටය තෙක්ම විළි වසා ගැනීමට අනුබල දිය යුතුය.

                           අලුත් තරුණ ගුරුවරියන් හැඩට ලස්සනට අඳින්නට කැමතිය. ගුරුවරියන්
වුවද ඔවුන් නියෝජනය කරන්නේ තාරුණ්‍යයයි. තරුණ පරපුරයි.  ඇහි බැම සකසා දෙතොල් නිය පාට කර සැන් පවුඩර් ගාන තරුණ ගුරුවරියක් දකින වැඩිහිටි ගුරුවරියකට මදකට හෝ සිය තරුණ කල සිහි කල හැකි නම් වටනේය. මක් නිසාද යත් අත්දැකීම් වලින් පරිණත පෙර පරම්පරාවන්  මෙය හරි හැටි අවබෝධ කර නොගන්නා තාක් සම්ප්‍රදාය ත් නූතනත්වයත් ගැටෙනු  ඇත. බොහෝ නැන්දම්මලා සිය ලේලියට ඇඟිල්ල දිගු කරන්නෙත් මේ සන්තෑසිය නිසාම නොවේද? එහෙව් නැන්දම්මලා තමාත් ලේලියක ලෙස සිටි සමයේ නැන්දම්මට ගස්සාගෙන ගිය හැටි අමතක නොකළ යුතුය. අද නූතනත්වය හෙට සම්ප්‍රදාය වනු ඇත. මේ ඝට්ටනය අප අනාගතයටද භාරදියයුතු නැත.

                           "අඳින්න මිනි ගවුම අඳින්න" කීවේ භාතිය  සංතුශ්ලාට පෙර පරම්පරාවය.
එහෙව් කී පරපුරක් ඊළඟ පරම්පරාව දෙසට ඇඟිල්ල දිගු කර "කොටට අඳින උඹලා සංකරය අවිනීතය "යි කීම කෙතරම් යුක්ති යුක්තදැයි සිතා බලනු වටී. මේ කියන්නේ වැරදි දෙයට වැරදියි කීමට එපා කියා නොවේ. පරම්පරා වෙනස වයස් පරතරය නිසා හට ගන්නා ඒ ඒ යුගවල සංස්කෘතීන් දෙස උපේක්ෂාවෙන් බැලීමට පුරුදු පුහුණු විය යුතු බව පමණි.

මීට මලියා වෙමි