Tuesday, September 13, 2016

සංචාරක කොලම



සත්කෝරළයේ උතුරු මායිමෙන් එහාට



ගමන ආරම්භය කොළඹ. නාරම්මලෙන් කුරුණෑගල පාරෙ ඇවිත් වීරඹුගෙදරින් වාරියපොළට එනව. කාපට් අතුරපු  ලෑල්ලටම පාගන්න පුළුවන් පා‍ර වුණත් යහතින් ගමනාන්තයට එන්න ඔනෙ හින්ද වේග සීමාවට අනුව මලිය ඇක්සලේටර් කරනව. වාරියපොළෙන් පුත්තලම් පාරෙ පාදෙණිය හංදියට එනව. එතැනින් දකුණට අනුරාධපුර පාර. ඒ පාරෙ කිලෝමීටර් දහටක් විතර එද්දි දළඳාගම හංදිය. එතැනින් වමට. මහව පොඩි දුරයි. මහවින් කෙළින්ම යාපහුව හංදියට. එතැනින් මඩගල්ල පාර. වේළුණු පරිසරයක් සිඳුණු වැව් ඉඳහිට ඈතින් දිය කඩිත්තක් පේනව. යනව යනව ඉවරයක් නෑ. බැරිම තැන ඉරිඟු තම්බන තැනක නවත්තල ඉරිඟු ඇන්ටිගෙන් පාර අහනව. වාහනෙ නවත්තද්දිම ලොකුම ලොකු හිනාවකින් ඒ මූණ පිරෙනව. ඉරිඟු ගන්න කියල හිතල වෙන්නැති. මලිය පාර අහනව. ඔතන ඉස්සරහින් වමට. ඒ කියන්නෙ මඩගල්ල හංදියෙන් වමට. ඉරිඟු ගත්තෙ නැති වුණත් ඒ අව්‍යාජ හිනාවට ස්තුති සිනහවකින් සංග්‍රහ කරල ආයෙමත් ගමන  අරඹනව මඩගල්ල හංදියෙන් වමට හැරිල. ගමනාන්තය මොරගොල්ලාගම හංදිය. මලිය දැන් මොරගොල්ලාගම. මේ කුරුණෑගල දිස්ත්‍රික්කයේ කොණක්. තව කිලෝමිටර් කිහිපයක් දුරකින් අනුරාධපුර දිස්ත්‍රික්කය.

ඉර තාම ගිනි බෝලයක් වගේ වැව් බැම්ම පැත්තෙ බටහිර අහසෙ ගස් අස්සෙන් එබිකන් කර කර වැව් දියට රත්තරන් පාට කලවං කරනව. මලිය දැං කලා වැව ළඟ. ඈත රිටිගල දිහායින් කඩා ගෙන එන හුළඟ තාමත් වියළියි. වැහි කෝඩයක සළකුණක්වත් නෑ. සුනිල් දයානන්ද කොණාර ලිව්වෙ කලා වැවේ නිල් දියවර අපෙ අම්මා කියල. ඒක මොනතරම් අපූරු උපමාවක්ද කියල ඇත්තටම දැනුණෙ වැව් දියට බැහල නාල කියල ගොඩට ආවට පස්සෙයි. ඇගේ තිබුණ ඌෂ්ණෙ කොහෙන් ගියාද නෑ. ඇඟට පතට ගෙනාවෙ පුදුමාකාර සනීපයක්. කලා වැව ළඟ මැටි පිලක පැදුරක් එළා උන්නු අවුකන බුදුන් නෙළූ ඒ අපූරු මිනිසා හමුවෙන්න ගිය රජී වෙල්ගමයන්‍ට සමහරවිට මේ මහා වැව සෑදු දහදිය සුවඳත් හමුවෙන්න ඇති. මලියට එහෙම හිතුණ. අපේ ගීත සාහිත්‍යයත් මොනතරම් නම් කලාවැවෙන් පොෂණය ලබල තියෙනවද. එහෙම බැලුවම ගමේ කෙත විතරක් නෙමෙයි කලාකෙතත් මේ වැව අස්වද්දල තියෙනව. හැන්දෑවට නෑවම එන ලෙඩේ; කිඹුහුන් දෙක තුනක් ඇර ඇර මලිය කලාවැවෙන් ආපහු මොරගොල්ලාගම  නවාතැන්පළට එන්න පිටත් උනා. දැන් හැන්දෑ කළුවර වැටිල. කොච්චර උනත් අලි බලන්න තියෙන ආසාවට  ඈත වන රොදවල් අස්සට ඇස් දෙක දුවනව. මෙහෙම වෙලාවට කළුගල් මීහරක් උනත් පේන්නෙ අලි වගේ තමයි. අපි කොච්චර අසාවෙන් අලි බලන්න ට්‍රයි කරත් අලිය කියන්නෙ මෙහෙ මිනිස්සුන්ගෙ ජීවන අරගලයෙ ප්‍රතිපාර්ශවයෙ සටන් කරුවෙක්.

                                       කලා වැවේ ටොමියා නොහොත් කංකොටා





මොරගොල්ලාගම ඉඳන් බුල්නෑව පාරෙ නැගම්පහ හංදියෙන් ඇතුළට. දූවිලි ඇවිස්සෙන ගුරු පාර. මලිය මේ යන්නෙ ඓතිහාසික රැස්වෙහෙර පුදබිමට. හේන් කුඹුරු මැද්දෙන් ගිහින් අලි ඉන්න සීමාවට. කුඩා වැවක් එක්ක සුන්දර වට පිටාවක්. ලොකු ලේලන්ඩ් බස් වලින් වන්දනා නඩ කිහිපයක්ම ඇවිත්. සුදු ඇඳගෙන බොහොම සැදහවතින් එන  මේ සමහර     
ඇත්තෝ ශ්‍රද්ධාව වැඩිකමටද කොහෙද පොලිතීන් එහෙම යහමින් පුද බිමේ වපුරල. අපේ රටේ ගොඩක් සුන්දර ස්ථාන වලට අත්වෙන සෝචනීය ඉරණමක්. මලිය නාපු කලා වැව ළඟත් එහෙමයි. ට්‍රිප් යන එවුන් එන්නෙ ආතල් ගන්න . උන් බයිට් එක කාල බෝතලේ ගහල ඩාන්ස් එක දාල බෝතලෙත් දාල යනව. උපාසක අම්මල සාදු සාදු කිය කිය ඇවිත් පහන් වැටි පැකට් එකත් දාල තෙල් ගෙනාපු කාලෙ බෝතලෙත් දාල නිවන් ගියා කියල හිතාගෙන ආපහු යනව. කීයෙන් කීදෙනාද මේ සුන්දර පරිසරය ගැන අසීමිත ආදරයකින් මේ තැන් වලට එන්නෙ. මලිය මේ කිව්වෙ හැමෝම ගැන නෙමෙයි සම හරක් ගැන.
 

මලියගෙ මීළඟ නැවතුම්පොළ අවුකන. එතනත් ඉතින් අපේ ශ්‍රද්ධාවන්තයන්ගෙ ගරු බුහුමනට ලක්වෙලා කියල උඩට යන්නත් කලින් පරිසරය දැක්කාම පේනව. ගල පිච්චෙන ගිනි අව්ව. අවුකන බුදුන් කලා වැවෙන් එන සුපුරුදු හුළං දරාවන් එක්ක වැඩවාසය කරනව. වළගම්බා රජ කරවූ සැස්සේරුවත්( රැස් වෙහෙර) ධාතුසේන රජු කර වූ කලාවැවත් අවුකනත් රජවරුන්ගෙ නම් ලියවුනාට මේ හැමතැනම තියෙන්නේ දහස්ගණන් මිනිස්සුන්ගෙ දහදිය සුවඳ.

අවසානෙ අයෙමත් මලිය කොළඹ එන්න ලැහැස්තිය. මේ යෝධ ඇළ. බොහොම නිස්කලංකව ගලා බසින කලා වැවෙන් එන සිහිල් දිය ධාරාව. මලිය යෝධ ඇළේ පාවි පාවි ඉන්නව. මලිය නාන තැනට එහායින් ඇළට පාත් වෙච්ච කුඹුක්  අත්තක ඉඳන් රිළව් කිහිප දෙනෙක් වැවට පනිනව. අපි උඹල ඉතින් එකම ජාතියෙනෙ. නද්ද මචං. ඉතින් අපි නාමු එකටම. මලියට එහෙම හිතෙනව. මොනතරම් නම් සැහල්ලුවක්ද . අපි කොන්ක්‍රීට් වනන්තර වල හිරවෙලා කොයිතරම් පීඩනයකින් ජීවත් වෙන මිනිස්සුද. ඇත්තටම අපේ මුල් ගම් බිම් මේ ජලය මේ ගහකොළ. හරිත පාට සොබාදහම. මලියගෙ හිතට බ්‍රේක් නැති වචන.
 
ඊරිසියා කරන්න එපා ඊළඟට කියන්න යන දේ ගැන. වික්‍රම මාමගෙ රසම රස කෑම වේල.  වැව් මාළු හොද්ද . දෙවියනේ දිව්‍යලෝක රස. මලියගෙ වචනෙන්ම කිව්වොත් සුපිරි....! තුන්ලෝකෙවත් නෑ ඒ කෑම වේලට ගහන්න පුළුවන් කෑම වේලක්.

ඉතින් ආයෙමත් සුපුරුදු ජීවන රටාවට. ඉතින් ස්තුති කරන්න ගොඩක් ඈයො ඉන්නව. මලියගෙ පියා විශේෂයෙන්ම. මලියගෙ පවුලෙ උදවිය. රහට කෑම හදල දීල අපිව බලා ගත්තු වික්‍රම මාම. සෙනෙහෙබර හිනාවක් එක්ක හැම වෙලේම උදව්වට එන සමන්ත මාම. නාන තොටට මඟ පෙන්නූ අජිත් මාම.
මේ හැමෝටම බොහොමත්ම ස්තුතියි.
තව නොලියවුණු බොහෝ දේවල් තියෙනව.  ඒ කර්කශ පොළොවත් එක්ක හැප්පෙන මිනිස්සුන්ව හොයාගෙන යන්න මලියට හිතෙනව. ඒක මේ ගමනෙදි කරන්න බැරි වුණා. එහෙව් ගමනකට උඹලත් මාත් එක්ක එකතුවෙයි කියල මං හිතනව.

මීට
සංචාරක
මලියා