Saturday, December 12, 2015

HIV AIDS කොලම




        පසුගිය දෙසැම්බර්  පළමු වැනිදාට ලෝක ඒඩ්ස් දිනය යෙදිල තිබුණා. ඇත්තටම ඒඩ්ස් පිළිබව ලාංකේය අපේ ආකල්පය කුමක්ද? ඒඩ්ස් තුරන් කළ යුතුයි කියන තැන අපි හැමෝම ඉන්නව. ඒකෙ කතා දෙකක් නෑ. ඒ වුණාට ඒඩ්ස් රෝගීන් ගැන අපේ ආකල්පය කොයිවගේද කියන තැනදි මලියගෙ හිතත් පොඩ්ඩක් ගැස්සෙනව. ඇයි..? අපිට දියවැඩියාව, කොලස්ටරෝල්, ප්‍රෙෂර් තියෙනව කියන්න අපි බය නෑ. ඒත් ඔය කියන ෆුල්ඔප්ෂන් ලෙඩ ලැයිස්තුවෙ ඒඩ්ස් නෑ. මොකද ඒඩ්ස් රෝගීන් සමාජය ඇතුළෙ කොන්වෙනව. අනාරක්ෂිත එහෙම නැතිනම් අසම්මත ලිංගික හැසීරීම් වල ප්‍රතිඵලයක් විදියට තමයි මේ මනුස්සයට ඒඩ්ස් හැදිල තියෙන්නෙ කියල අපි හිතන්නෙ. ඒක එහෙම වෙන්නත් පුළුවන් නොවෙන්නනත් පුළුවන්. ඒඩ්ස් ආසාදිත මවකගෙන් දරුවාට ඒ වගේම රුධිර පාරවිලයනයේදි ඒඩ්ස් ආසාදනය වීමේ හැකියාව තියෙනව. කොහොම වුණත් ඒඩ්ස් එක්ක අපේ ඔළු වලට රිංගන දෙයක් තමයි ගණිකාව කියන මාතෘකාව. ඒක වෙනම සාකච්ඡා කරන්න ඕන මාතෘකාවක්.

        සෞඛ්‍යය ඇමතිතුමා උසස් පෙළ ළමයින්ටත් විශ්වවිද්‍යාල ළමයින්ටත් HIV පරීක්ෂණය අනිවාර්ය කරන්න සූදානම් වෙනව. ඒක ඇත්තටම හො දෙයක්. ඒ වුණත් උඩින් පැලස්තර ඇලෙව්වට විතරක් මදි. රෝග මූලයටයි ප්‍රතිකාරය ඕනෑ. මොකක්ද මේ ඒඩ්ස් කියන්නෙ? කොහොමද මේක පැතිරෙන්නෙ? මේ දේවල් ගැන හරිහමන් දැනුවත් වීමක් සමාජයට කෙරෙනවද? අන්තර්ජාලය පැත්තෙ කරක් ගහද්දි නිකමට හොයල බලන්ඩකො ඒඩ්ස් ගැන දැනුවත් කරපු ලංකාවෙ වෙබ් අඩවි කොච්චර තියෙනවද කියල. ඒ වුණාට ලිංගික සූරාකෑම් පිළිබව රහ කර කර කියන්ඩ නම් ඕන තරම් වෙබ් අඩවිත් සමහර මාධ්‍යත් අපට තියෙනව.

        මලියගෙ අදහස මේ HIV AIDS ගැන දැනුවත් කිරීම ඇරඹෙන්න ඕන පාසලෙන්. මොකද එතැන තමයි මුල . සමාජය හා ගැටෙන්න අවශ්‍ය දැනුම ලැබෙන්නෙ එතැනින්. ඒ වුණත් අද ඒ කර්තව්‍ය අපේ පාසල් විෂය මාලා වලින් ඉටුකෙරෙනවද කියන තැන ගැටළුවක් තියෙනව. සෞඛ්‍යය හා ශාරීරික අධ්‍යාපනය කියල විෂයක් පාසලේ ඉගැන්වෙනව. අපිත් ඉගෙනගත්ත. මොනමොනවදෝ රෝග ටිකක් ගැන නෝට්ස් ලියාගත්ත. නැත්නම් සෞඛ්‍යය පීරියඩ් එකේ පිට්ටනියට ගිහිං ෆුට්බෝල් ගැහුව. ඒ වුණාට ගණං පීරියඩ් එක . කට් කළොත් කම්මුතුයි. ඇයි මේ සමහර විෂයන්ට මුල්තැනත් තවත් වැදගත් විෂයන්ට අගුපිලත් හිමිවෙන්නෙ. විෂය වැදගත් කියල ගණං වගේ උඩට ගත්තයි කියමුකො. අනිවාර්ය කොළයි කියමුකො. ප්‍රශ්නෙ ඉවරද? ඔය වගකිවයුතු තැන් වල ඉබි යතුරු දාගෙන තියාගෙන ඉන්න ‘ලිංගික අධ්‍යාපනය‘ බින්න බැහැපු තැන්වලම තියෙයි. උසස් පෙළ ළමයින්ට විශ්වවිද්‍යාල ළමයින්ට ලිංගිකත්වය සමාජ රෝග ගැන පුළුල් අවබෝධයක් දෙන්න අපි බයයි. ඇයි....? ඔබ අහයි මේව එළිපිට කතානරන්ඩ පුළුවන්ද කියල. එළිපිට කතානරන්ඩ බැරිනම්  rooms , boxes ඇතුළෙ කතාකරන්ඩ කියලද කියන්නෙ? ඇයි මේ තරම් පහත් තත්ත්වයට අපි වැටෙන්නෙ?

        මැදපෙරදිග රැකියා වලට යන අපේ අම්මල අක්කල බොහොමයක් ආපහු එන්නෙ දහදුක් විල. සමහරුන්ගෙ ඇවල් ඇතුළෙ යකඩ ඇණ. සමහරු සදහටම අබාධිත වෙලා. මේ හැම ඛේදවාචකයක් අස්සෙම තවත් අමිහිරි සත්‍යයක් හැංගිලා තියෙනව. ඒ තමයි ඒඩ්ස්. ඉතින් මේ අහිංසක අපේ සහෝදරියන්ට මොකද වෙන්නෙ?

       මේ අය මිනිස්සු නෙමේද? වැලිකඩ බන්ධනාගාර විසල් තාප්පයේ ගහල තියෙනව මෙන්න මෙහෙම ‘සිරකරුවෝ මනුෂ්‍යයයෝය‘ කියල. ඒ වගේම තමයි ඒඩ්ස් රෝගීන්ද මනුෂ්‍යයයෝය කියල තමයි මලියට කියන්න තියෙන්නෙ.

        හොම දේ දරුවන්ට ය. එහෙම නම් ‍ හොම දේ දරුවන්ට දෙන්නට යහපත් හෙටක් තනන්නට හෙට ලෝකය මේ ගැන දැනුවත් කළ යුතුය. මලියගේ අදහස ඒකය.


මේ කවිය ඔවුන්ගේය
(2015/12/01 දිනට යෙදෙන ජගත් ඒඩ්ස් දිනය නිමිත්තෙනි.)

පිනි බිු දහසකුත් වපුළ
නිදහසේ හුස්මගත් තෘණ භූමි
කොටුකරපු නොහික්මුණු කටුකමිබි
මත ඇවුණු මල්...............

ලේ ගලන සුදු අරලියා මල්.................

‘මේ කවිය මං අහුලගත්තේ
ඇල්මැරුණු කනත්තක
රතු අරලියා මලකින්‘
 
                                
                                                                                      මීට මලියා

Tuesday, November 24, 2015

සහජීවන කොලම



එන්න පෙළ ගැහෙන්න සාධාරණ සමාජයකට

අපි හැමෝටම අපේ  ආගම හා ජාතිකත්වය ගැන අභිමානයක් තියෙනවා. මලියටත් එහෙමයි. හැබැයි ඒක ආඩම්බර කමක් නෙමෙයි. අභිමානය සහ ආඩම්බරය දෙක අපි අද පටලවගෙන තියෙන්නෙ.


යුද්ධය ඉවරවෙලත් අවුරුදු 6ක් වෙනව. ඒත් තාමත් ඡන්දයකදි යුද්ධය තමයි මාකට් කරන්නෙ. ඡන්ද ටික ඩැහැගන්න පුළුවන් නිලයකට ගහන්න දේශපාලකයො දන්නව. උතුරෙ අන්තවාදියො උතුර ගිනි තියද්දි දකුණෙ  අන්තවාදියො දකුණ ගිනි තියනව. මෙච්චර කාලයක් මේ ඇවිලිල්ල උඩ තමයි අපේ රටේ දේශපාලනය දිව්වෙ.


නාගදීපය නයනතිව් කළොත් මෙහේ එක දෙමළ නමක්වත් තියත්තෑ කියනව. මදය පුහු පොත්ත ඉදිමුණු සිංහල බෞද්ධ ලේබල් ගහගත්තු එවුනුත් හුරේ පාර දෙනව. ආයෙමත් අපි අහල තියෙන කළු ජූලියක් හිත අස්සට ඇවිත් මලියව බයකරනව.


එල්ටීටී සංවිධානයේ උන්නු සමහර සාමාජිකයින් පුනරුප්පාථනය වෙලා එළියට එද්දි  ආහු කොටි ලේබල් එක අලවනව. ඉතින් ඒ මනුස්සය හැමදාම කොටියම වෙනව. මොකද අපි හිතන් ඉන්නෙ ඉපදෙද්දිම ඒ මනුස්සය මිනීමරුවෙක් ත්‍රස්තවාදියෙක් කියල. ඒත් ඔහු එතැනට පත්වීම ගැන දිග කතාවක් තියෙනව. ඒක අපි සලකන්නෙ නෑ. ඒක අපිට වැඩක් නෑ. අවුරුදු  ගාණක් තිස්සෙ පුරුදු වෙච්ච සැක සහිත බැල්මෙන් තවමත් උතුර දකුණ එකිනෙකා දෙස බලනව.


යුද්ධයට කැමති උන්ගෙ ගොදුර යුද්ධයට අකමැති උන්. යුද්ධය කියන්නෙ මරණයම තමයි. යුද්ධ කරන්නෙ බෙදීම පවත්වා ගන්න එහෙම නැත්නම් බෙදෙන්න. අමිහිරි කාල පරිච්ඡේදයක් පහු කරගෙනයි අපි මෙතැනට ඇවිත් ඉන්නෙ. අලුත් ලෝකයට මේ බෙදීම් අයිති නෑ. අපි තාමත් ලෝකයට කියන්නෙ තුන්වන ලෝකයේ දියුණු වන රටක් කියල. කවද්ද අපි දියුණු වෙච්ච රටක්  වෙන්නෙ? කවද්ද මේ බෙදීම් නවත්තන්නෙ?


අපි කොයි තරම් පහත් තත්ත්වයකට වැටිල ඉන්නවද කියල මතක් වෙන්නෙ මේ වෙලාවට. දවසක් මලියගෙ යාළුවෙක් අපූරු දෙයක් කියනව. “උඹල අයිලාන් ගැන කතා කරපු තරම් සේ යා ගැන කතා කරන්නෑනේද? උඹලට අපේ දේවලට වඩා පිටරට දේවල් තමයි ලොකු.“  ඉතින් මලියා මේ සහෘදයාට අනුකම්පා කරල CHAT එක නැවැත්තුව. මොකද සේයා ව නැවත නැවත අපහරණය කරන්න මලියට බෑ. සමහර මාධ්‍ය වගේ මලියා  එහෙම තුච්ඡ වැඩ කරන තිරිසනෙක් නෙමේ.


උන් ගැහුවොත් අපිත් ගහනව. අපේ එකාට උන්ගෙන් පහයි. පිරිසිු ලේ තියෙන්නෙ අපට. අපි කුළල් කකා ජීවත් වෙනව. ඉතින් හිට්ලර්ගෙ නාසිවාදයයි අපේ ජාතිවාදයයි අතරෙ මලියට නම් වෙනසක් පේන්නෑ. මලිය හැමදාම ආසයි මාතර බත් කඩෙන් බත් එකක් කාල ෆාරිස් අයියගෙ කඩෙන් රීලෝඩ් එකකුත් දාගෙන සෙල්වානි ඇන්ටි ගෙන් පත්තරෙත් අරන් ගෙදර එන්න. මලිය ඉල්ලන්නෙ අපේ වැඩිහිටි පරම්පරාවෙන් . අනේ මේ  අලුත ඉපැදෙන පැටවුන්ටනම් ඔය ජාති වාදය කියන විස නම් කවන්න එපා. ඒක අපේ පරම්පරාවෙන්වත් නවත්තගමු.


මලියට මේ වෙලාවෙ මතක් වෙන්නෙ අපේ මාදුළුවාවේ සෝභිත නායක හාමුදුරුවන්ව. උන්වහන්සේ තරම් සහජීවනය ගැන කතාකරපු ඒ වෙනුවෙන් පෙනී ඉපු වෙනත් යතිවරයාණන් වහන්සේ නමක් මෑත ඉතිහාසෙම අපට හමුවෙන්නෙ නෑ. අන්‍යාගමිකයින් පවා ඇවිත් උන්වහන්සේට අවසන් ගෞරව දැක්වුවා. උන්වහන්සේගේ වියෝ අපි හැමෝගෙම හදවත් කුළින් තෙත් කළා. මලියගෙ පෑන නළියන්න පටන් ගත්ත. අපි උන්වහන්සේ පැතූ ඒ සහජීවනයෙන් යුතු සාධාරණ සමාජය වෙනනුවෙන් පෙළ ගැසෙමු.



සෝභිත නා හිමියනි,

වියෝගය කුළක්ව

උනාවිත් හැම නෙතට

නිවන් සුව ලැබේවා

කියන මුත් පුරුද්දට

කියාදී මිස දහම

මේ දුදනන්ට

වඩින්ට නම් එපා හිමියනි
නිවන් පුරයට


                                                                    මීට,   මලියා