Sunday, December 3, 2017

කැලෑ කොලම


හස්ති මහා ධාතු ප්‍රදර්ශනය



ඔකී ලංකාවෙ පැත්තක්ම හොලවගෙන යන්න ගියා අරාබි මූද පැත්තට .දැන් ඔකී යන්නම ගිහින්. තව එකක් එනවලු මැලේසියාව පැත්තෙන්. එයා කවුද දන්නෙ නෑ. එයා මෙයා කිව්වට මෙයාල මිනිස්සුන්ටයි දේපළවලට ගහකොළවලටයි කරන හානිය සුළුපටු නෑ. එක පැත්තකින් බැලුවාම මිනිස්සුත් සුළි කුණාටු වගේනෙ. අපි එක එක්කෙනාට නම් දාගෙන හිටියත් අරය මෙයා කියල ඔක්කොම මිනිස්සු. සේරම කරන්නෙ එකම වැඩේ. පරිසරයට පොලිතින් බෑග් එක එකතුකරන ඔබෙයි මගෙයි ඉඳන් විල්පත්තුව කපපු ඈයො දළ ඇතා මරපු ඈයො වෙනකම්ම සේරම උන් මිනිස්සු . සේරම කරන්නෙ පරිසරයට කෙළවන එක. ඒ කියන්නෙ මේක නිකම් අපේම ගෙදර ඇතුළෙ ඉඳන් අපේ ගෙදර වහලෙ උළු කැට කුඩු කරගන්නවා වගේ වැඩක්.

විල්පත්තුව කියද්දි මතක් වුණේ . සමහර ඈයො වනානතර වැනසීම සාධාරණීකරණය කරල ඒ කපන්නෙ විල්පත්තුව නෙමෙයි වෙන කැලයක්ය කියද්දි තවත් සමහරු වනාන්තර විනාශය උඩ තියලා ජාතිවාද කඩේ යෑම කරනව. මේක ජාතිවාදෙ කොහැල්ලෑ වගේ හැම එකටම අලෝගන්න ඈයොන්ටයි වෙන ආගමක් අදහන ඈයො දැක්ක ගමන් අහවල් තැන කහන ඈයොන්ටයි දෙගොල්ලන්නටම එකයි. ඔය සුද්ධ බුද්ධ කළාය කියන තැන් වල පංසලක් එහෙම කාරිය හදලා චෛත්‍යය කුත් කරවල සපිරිවර මැති ගණ වඩම්මල කොතකුත් පැළන්දුවනම් ඔය කටවල් වලින් බාගෙට බාගයක් වැහිලා. ගස් කැපුවෙ පංසලට සිංහල දේසෙට යකෝ හිලෑවෙච්ච යක්කුත් එදාට නිවන් යයි ආයුබෝවන්ඩ. අපිටත් තියෙන්නෙ සාදූ කාරයක් දීලා පිනට සම්මාදම් වෙන්න.

කෝමහරි කලබැගෑනි සේරගෙන්ම පස්සෙ සියඹලන්ගමුවේ දළ ඇතා හෙවත් ගල්ගමුවේ දළපූට්ටුවත් පරලෝ සැපත් කළා. ඒකෙන් පස්සෙ හීන් සීරුවෙ අර දළ දෙක පංසලකට එහෙම වැඩියනම් අපි සේරටම පව් කමා කරගන්න තිබුණා. කොහෙද ඊට කලින් මාට්ටු වුණානෙ. දැන් වුණත් ඉතින් ප්‍රමාදයක්  නෑ. නඩු භාණ්ඩ වුණත් පංසලකට පූජා කළාම ජාති ජාති නිවන් යන පුණ්‍ය කර්ම නෙව ඒව. ඒකනේ ළඟදී අර නීතිවිරෝධී ඇත්දළ තොගය පුළුස්සද්දි සමහර කාසාවත් දැරූ වත් වලට ඉහිළුම් නැති වුණේ. ඒකයි මං කිව්වෙ දැන් වුණත් නෑ ප්‍රමාදයක්. ලොකුම පංසලකට පූජා කළා නම් ධාතු ප්‍රදර්ශනයකදි දළ දෙක මැද්දෙන් ඇස් ගෙඩි පුංචි කරල ධාතු නරඹලා දොහොත් මුදුන් තියලා සාධුකාරෙකුත් දීල මීඩියා අයියලටත් පිං දීල චැනල් පිටින්ම නිවන් යන්න පුළුවන්. චැනල් අයියල සේරම නිවන් ගියාම ඇත්තටම මේ වගේ සද්දන්තයින්ව ලෝකෙට අඳුන්වල දීල සද්දන්තය මැරුණට පස්සෙ මළගමත් කවර් කරන්නෙ කවුද ඇත්තටම . මෙව්වනෙ දැවෙන ප්‍රශ්න .

හැබැයි මේ අවුරුද්දෙ නත්තලේ ඉඳන්ම එක එක අයිටම්ස් පටන් ගත්තට පස්සෙ ඔය දළ දෙකත් කොහෙට හරි වඩම්මල පව් සමා කරගමු නේද ? හාද?

මීට මලියා වෙමි